දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දකුණු අප්‍රිකාවේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන ‍කොමිසමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට අදාළ වන ආකාරය පිළිබඳ සමුළුවක් සංවිධානය කරයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දකුණු අප්‍රිකාවේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන ‍කොමිසමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට අදාළ වන ආකාරය පිළිබඳ සමුළුවක් සංවිධානය කරයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය (LKI) සහ කොළඹ පිහිටි දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ඕනෑම ආකාරයේ අලුත් කරන ලද සංක්‍රාන්ති යුක්ති වැඩසටහනක් සඳහා දකුණු අප්‍රිකානු සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ (TRC) ක්‍රියාවලිය සතු අදාළත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් 2022 නොවැම්බර් 25 වැනි දින ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ ශ්‍රවණාගාරයේ දී වට මේස සාකච්ඡාවක් සංවිධානය කළේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා මෑතකදී සිදු කළ ප්‍රකාශ සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා මැතිතුමා හමු වූ අවස්ථාවේ දී (එතුමා නොවැම්බර් 29 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අවස්ථාවේ දී) එවැනි නව ප්‍රයත්නයක් සම්බන්ධයෙන් යෝජනා කෙරිණි.

සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාවලිය පිළිබඳ කීර්තිමත් විශේෂඥයන් තිදෙනෙකු වන දකුණු අප්‍රිකාවේ මහජන කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය ( එතුමා මීට පෙර ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් තනතුර දැරුවේ ය) තානාපති ජෙෆ්රි ඩොයිජ් මැතිතුමා, දකුණු අප්‍රිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ සන්නිවේදන කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය රොල්ෆ් මෙයර් මැතිතුමා සහ දකුණු අප්‍රිකාවේ යුක්තිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ආචාර්ය ෆැනී ඩු ටොයිට් මහතාට මෙම අවස්ථාවට අතථ්‍ය අයුරින් සහභාගී වීම සඳහා අවශ්‍ය කටයුතු මහ කොමසාරිස් කාර්යාලය විසින් සලසන ලදී.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ලක්සිරි මෙන්ඩිස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මැතිතුමා, ශ්‍රී ලංකා තීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සහ කීර්තිමත් නීතිඥයන්, තානාපතිවරුන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ කොළඹ පිහිටි දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරීහු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය ගාමිණී ගුණවර්ධන මැතිතුමා මෙම සාකච්ඡාව මෙහෙයවී ය.  සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නොවන නමුදු, වත්මන් සන්දර්භය තුළ නව ප්‍රවේශයක් පිළිබඳව අවධානය යොමු වෙමින් පවතින බව එතුමා සිය හඳුන්වාදීමේ දේශනයේ දී අවධාරණය කළේ ය. මෙම සාකච්ඡාව පැවැත්වූයේ ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකානු සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ ව්‍යවස්ථාව සහ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉගෙන ගත හැක්කේ කුමක් ද යන්න සාකච්ඡා කිරීම සඳහා ය.

දකුණු අප්‍රිකානු විශේෂඥයන් සිදු කළ ඉහළ මට්ටමේ වෘත්තීය ඉදිරිපත් කිරීම්, සජීවී සාකච්ඡාවකින් අනතුරුව පැවැත්විණි. මෙම වැඩසටහන සහ එහිදී සාකච්ඡා කළ ගැටලු පිළිබඳව ශ්‍රී ලාංකික පුවත්පතක පළ වූ සවිස්තරාත්මක වාර්තාවක් මේ සමඟ අමුණා ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියාව

2022 දෙසැම්බර් 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close