මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා මුම්බායි නුවර ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සමඟ පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පවත්වයි

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා මුම්බායි නුවර ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සමඟ පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පවත්වයි

මුම්බායි නුවර ඉන්දියානු තාක්ෂණ ආයතනයේ (IIT) පීඨාධිපතිවරයාගේ ඇරයුමකට අනුව, 2023 පෙබරවාරි 21 වැනි දින එම විශ්වවිද්‍යාල පරිශ්‍රයට සපැමිණි මුම්බායි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා, IIT ආයතනය සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

මෙම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය කේ. වී. ක්‍රිෂ්ණා රාඕ සහ ජාත්‍යන්තර සබඳතා පීඨයේ පීඨාධිපති අමිත් අග්‍රවාල් යන මහත්වරු හමු වූ ආචාර්ය වෙතෝඩි මහතා, ශ්‍රී ලංකාව තුළද IIT විශ්වවිද්‍යාලයක් විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළේ ය. ශ්‍රී ලංකාවේ තවත් විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වීම සඳහා මෙම ආයතනය කැමැත්තෙන් පසුවන බව මෙහිදී අවධාරණය කෙරිණි. ශ්‍රී ලාංකික සිසුන් සඳහා පිරිනමන ශිෂ්‍යත්ව සහ අධිශිෂ්‍යත්ව පිළිබඳව ද සාකච්ඡා පැවැත්වූ කොන්සල් ජනරාල්වරයා, IIT විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා පවතින ක්‍රම පිළිබඳව සාකච්ඡා කළේ ය. සිසුන් සඳහා පිරිනමනු ලබන අධිශිෂ්‍යත්වවල සංයුතිය පිළිබඳව පැහැදිලි කළ පීඨාධිපතිවරයා, සිසුන්ගේ සියලුම වියදම් මෙම ආයතනය විසින් දරනු ලබන බව ප්‍රකාශ කළේ ය. එපමණක් නොව, ආයතනය විසින් ආවරණය කරනු ලබන පිරිවැයට වඩා ඉහළ දීමනාවක් අධිශිෂ්‍යත්ව හරහා සිසුන්ට පිරිනමනු ලැබේ.

IIT හි වාර්ෂික පීඨ සම්මන්ත්‍රණ පිළිබඳව එම ආයතනය විසින් මෙහිදී තොරතුරු ඉදිරිපත් කරන ලද හෙයින්, විශිෂ්ට MICE (රැස්වීම්, දිරි දීමනා, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන) පහසුකම් සපයන රටක් වන ශ්‍රී ලංකාව තුළ IIT හි ඉදිරි සම්මන්ත්‍රණ පවත්වන ලෙස කොන්සල් ජනරාල්වරයා මෙහිදී යෝජනා කළේ ය.

මෙම දූත මණ්ඩලයේ කොන්සල් ජනරාල්වරයා සහ කොන්සල් (වාණිජ්‍ය) සඳුන් සමීර මහතා, ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල උපදේශකයන් ලෙස කටයුතු කළ අධ්‍යයනාංශ ප්‍රධානීන් රැසක් හමුවූ හ. තම විෂය පථය යටතේ ක්‍රියාත්මක වන ක්‍රියාකාරකම් පිළිබඳ දළ විශ්ලේෂණයක් සංක්ෂිප්ත ලෙස ලබා දුන් මෙම අධ්‍යයනාංශ ප්‍රධානීහු, මෙම විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලැබීම හරහා ශ්‍රී ලාංකික සිසුන්ට ප්‍රතිලාභ හිමිවන ආකාරය පිළිබඳව පැහැදිලි කළහ.

දේශීය මට්ටමෙන් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභදායක වන සහයෝගිතාවක් පැවැත්වීම සඳහා වැඩිදුර සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සහ පීඨාධිපතිවරයා සිය කැමැත්ත පළ කළහ. මුම්බායි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ජේ.ඩබ්. මැරියට් (JW Marriot) හෝටලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය සැමරීම සඳහා ඉදිරි දිනෙක සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආහාර උළෙල සඳහා සහභාගි වන ලෙස කොන්සල් ජනරාල්වරයා IIT හි පිඨාධිපතිවරයා ඇතුළු නියෝජිතයන්ට ආරාධනා කළේ ය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

2023 ජනවාරි 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close