දකුණු කොරියානු රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

දකුණු කොරියානු රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 13කට අධික වෛද්‍ය උපකරණ තොගයක්, 2023 මාර්තු මස 08 වැනි දින සෝල් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිල උත්සවයක් අතරතුර සීමාසහිත හියුමන් අර්ත් සහ මෙඩිලයින් ඇක්ටිව්  නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මැතිනිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම උත්සවය අතරතුර සිය අදහස් පළ කළ තානාපතිනිය, ශ්‍රී ලංකාවේ රෝහල්වලට සහ ජනතාවට විශාල වශයෙන් වැදගත් වන මෙම පරිත්‍යාගය වෙනුවෙන් හියුමන් අර්ත් සහ මෙඩිලයින් ඇක්ටිව් සමාගම වෙත සිය හෘදයාංගම කෘතඥතාව පළ කළා ය. මෙම පුණ්‍යකර්මය සඳහා පහසුකම් සැලසූ කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය තල්ගමුවේ ධම්මකිත්ති නාහිමිපාණන් වහන්සේ වෙත එතුමිය සිය ප්‍රශංසාව පළ කළා ය. එමෙන්ම, මෙම පරිත්‍යාගය මෙරටට ගෙන්වා ගැනීම සඳහා සහය ලබා දුන් කොරියාවේ පිහිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලයට ද එතුමිය සිය කෘතඥතාව පළ කළා ය. ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින ශක්තිමත් පුද්ගලාන්තර සබඳතා මෙම පරිත්‍යාගය ඔස්සේ විද්‍යමාන වන බවද එතුමිය මෙහිදී අවධාරණය කළා ය.

සෝල් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් සචිනි ඩයස් මහත්මිය මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම හා සබැඳි කටයුතු සම්බන්ධීකරණය කළා ය.

අතිපූජ්‍ය ආචාර්ය තල්දූවේ ධම්මකිත්ති නාහිමිපාණන්, හියුමන් අර්ත් වෙල්ෆෙයා සහ මෙඩිලයින් ඇක්ටිව් කොරියා නමැති ලාභ නොලබන සංවිධානය නියෝජිතයන්, කොරියාවේ පිහිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලයේ නියෝජිතයන් සහ කොරියා-ශ්‍රී ලංකා මහාවිහාරයේ නියෝජිතයන් ද මෙම අවස්ථාවට සහභාගි විය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

සෝල්

2023 මාර්තු 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close