ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා සමඟ සිදුකළ සුහද හමුවක දී පලස්තීනය සඳහා සහයෝගය ලබා දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා යළි අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා සමඟ සිදුකළ සුහද හමුවක දී පලස්තීනය සඳහා සහයෝගය ලබා දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා යළි අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. ඩාර් සයිඩ් මැතිතුමා සැප්තැම්බර් 28 දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

මෙම හමුව අතරතුර දී, පලස්තීන රාජ්‍යයේ ජනාධිපතිවරයා, රජය සහ  ජනතාවගේ උණුසුම් සුභ පැතුම් පිරිනැමූ පලස්තීන තානාපතිවරයා, පලස්තීනය විසින් ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලබා දෙන සහයෝගය නැවත අවධාරණය කළ අතර, පවතින මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම තම අරමුණ වන බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංගමය ආරම්භ කළ බවත්, පසුගිය වසර 25 තුළ එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බවත් පීරිස් අමාත්‍යවරයා පැහැදිලි කළේය. පලස්තීන අරගලය සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව සහයෝගය දුන් බවත්, ඒ සඳහා පිළිගැනීමක් ලෙස රමාල්ලාහි දී හිටපු ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ නමින් මාර්ගයක් නම් කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

දේශපාලන අරමුණු සඳහා රටවල් වෙන් කිරීම පිළිබඳව විරුද්ධත්වය පළකරමින් සහ තමන්ගේ ජාතික ගැටලු විසඳා ගැනීමට එම රටවලට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටිමින්, මානව හිමිකම් කවුන්සිලය ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවල දී පලස්තීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය විදේශ අමාත්‍යවරයා අගය කළේය.

පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතීන් සහ අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනා මත පදනම්ව ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් සඳහා ඇති අයිතිය සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව අමාත්‍යවරයා සහතික විය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා වැඩි සහයෝගීතාවයක් ලබා ගැනීම සඳහා දැඩි ලෙස කැපවන බවට දෙදෙනාම යළි අවධාරණය කළහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close