ඉස්ලාමීය ඉරාන ජනරජයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් අපොන්සු මැතිතුමා ඉරානයේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

ඉස්ලාමීය ඉරාන ජනරජයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් අපොන්සු මැතිතුමා ඉරානයේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

 ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් අපොන්සු මැතිතුමා 2021 සැප්තැම්බර් 26 වැනි දින  ටෙහෙරානයේ සදාබාද් සංකීර්ණයේ පිහිටි ජනාධිපති නිල කාර්යාලයේ දී ඉස්ලාමීය ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා සයිඩ් ඊබ්‍රහිම් රයිසි මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර පිළිගැන්වීය. මෙම අක්ත පත්‍ර පිළිගැන්වීමේ නිල උත්සවයෙන් අනතුරුව තානාපතිවරයා සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්විණි.

තානාපති විශ්වනාත් අපොන්සු මැතිතුමාව පිළිගත් ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මැතිතුමා, දෙරට අතර පැවති දිගු කාලීන ඓතිහාසික සබඳතා ඇගයූ අතර, දෙරට අතර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ඉරානය සූදානම්ව සිටින බව පැවසීය. බහුපාර්ශ්වික සංසදවල දී දෙරට අතර පවතින සමීප සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහය පැසසුමට ලක් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට ආර්ථික සහයෝගිතාව සඳහා ඒකාබද්ධ ‍කොමිසමක් (JCEC) ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලාංකික ජනතාවගේ හෘදයාංගම උණුසුම් සුබ පැතුම් ඉරාන ජනාධිපති  ඊබ්‍රහිම් රයිසි මැතිතුමා වෙත පිරිනැමූ තානාපතිවරයා, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාවය බහුවිධ සහ ප්‍රතිඵල පදනම් කරගත් හවුල්කාරිත්වයක් තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටින බව නැවත වරක් තහවුරු කළේ ය. තවද, ද්විපාර්ශ්වික සබඳතා මට්ටම ඉහළ නැංවීම සඳහා ගවේෂණය කළ හැකි හා වැඩිදියුණු කළ හැකි අංශ වන කෘෂිකාර්මික නිෂ්පාදන, බලශක්තිය, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය සම්බන්ධ වෙළඳ කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේ ය.

විශේෂයෙන් දෙරට අතර තාක්‍ෂණික හා ඉංජිනේරු ක්‍ෂේත්‍රවල වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීමට සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට හැකියාවක් ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ඊට ප්‍රතිචාර දැක්වූ තානාපතිවරයා, දෙරට අතර පැවැත්වීමට නියමිත මීළඟ JCEC හමුවේ දී සියලුම යෝජනා සහ ඉතිරි වී ඇති කරුණු පිළිබඳව සැලකිල්ලට ගත හැකි බව පැවසී ය. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින  දිගු කාලීන සබඳතා ගැන සඳහන් කළ තානාපතිවරයා, ඉරාන ජනතාවගේ සාමය හා සමෘද්ධිය වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළේ ය.

දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අලි බගේරි මැතිතුමා, ජනාධිපති කාර්යාලයේ උත්සව හා සන්ධාන කටයුතු පිළිබඳ උප ප්‍රධානී මජීඩ් නොඑයි මහතා, දේශපාලන කටයුතු පිළිබඳ උප ප්‍රධානී එම්. ජම්ෂිඩි මහතා සහ තොරතුරු හා සන්නිවේදනය පිළිබඳ  උප ප්‍රධානී ඒ. හොනර්මන්ඩ් මහතා යන නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වූහ.

වත්මන් තානාපති ධුරය ලැබීමට පෙර, තානාපති විශ්වනාත් අපොන්සු මැතිතුමා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ විදේශීය ශ්‍රී ලාංකික අංශයේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කොන්සියුලර් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. වසර 19 ක සේවා කාලයක් සතු වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයකු (ශ්‍රී ලංකා විදේශ සේවය- 1 වැනි ශ්‍රේණිය) වන අපොන්සු මැතිතුමා, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ වැඩබලන මහ කොමසාරිස්වරයා ලෙස සහ ඉන්දියාව, සෞදි අරාබිය සහ බංග්ලාදේශය යන රටවල දූත මණ්ඩලවල තනතුරු හොබවා ඇත.

තානාපති විශ්වනාත් අපොන්සු මැතිතුමා කොළඹ විශ්වවිද්‍යාලයෙන් වාණිජ අංශයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත් අතර, කැලණිය විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ඉන්දියාවේ අන්නමලෛ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමි කරගෙන ඇත. තවද ඔහු අන්නමලෛ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව- උපදේශනය සහ මඟ පෙන්වීම පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි.  තානාපති විශ්වනාත් අපොන්සු මැතිතුමා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ (SLBFE) හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අතර, ‘මෙත්සවිය’ සංවිධානයේ හිටපු උප සභාපතිවරයෙකු සහ මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයෙකු ද වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරාන්

2021 සැප්තැම්බර් 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close