ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දෙවැනි උපාය මාර්ගික සංවාදය කොළඹදී පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දෙවැනි උපාය මාර්ගික සංවාදය කොළඹදී පැවැත්වේ

 

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දෙවැනි උපායමාර්ගික සංවාදය 2024 මැයි 07 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර මහත්මිය විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දරනු ලැබූ අතර විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දියානු සහ ඉන්දියානු සාගර කලාපය පිළිබඳ  අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා විසින් එක්සත් රාජධානි පාර්ශ්වයේ නායකත්වය දරනු ලැබීය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

සාකච්ඡා අතරතුරදී, දූත පිරිස 75 වසරක සුහදශීලී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ දෙරට අතර සිදුවූ ඉහළ පෙළේ සංචාර පිළිබඳව සිහිපත් කළහ. ගෝලීය දේශපාලනයේ විකාශනය වන ප්‍රවණතාවන් තුළ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ බහුපාර්ශ්විකත්වය සඳහා දක්වන අන්‍යෝන්‍ය කැපවීම පිළිබඳව නියෝජිත කණ්ඩායම් දෙක අදහස් හුවමාරු කර ගත්තේය. වත්මන් ආර්ථික සහයෝගීතාව පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. එක්සත් රාජධානියේ සහයෝගීතාවෙන්, අපනයන සංචිතය පුළුල් කිරීමෙන් ඇතුළුව, ‘සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ ක්‍රමය’ නමැති සහනදායී වෙළෙඳ පහසුකම යටතේ වෙළඳාම වර්ධනය කර ගැනීමේ මං පිළිබඳවද අදහස් හුවමාරු කර ගැනිණි. දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ නිරීක්ෂණය වූ වර්ධනය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් එක්සත් රාජධානිය වෙත ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව කෙරෙහි දෙපාර්ශ්වයේ සැලකිල්ල යොමු විය.

දේශගුණික විපර්යාස සහ පාරිසරික ප්‍රතිපත්ති පිළිබඳව මෙන්ම එම ක්ෂේත්‍රවල වැඩිදුරත් සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවද දෙරටේ දූත පිරිස් අදහස් හුවමාරු කරගත්තේය. රට තුළ සාගර විද්‍යා විශේෂඥතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ‘සමුද්‍ර රාෂ්ට්‍ර සහයෝගීතා වැඩසටහන’ ඔස්සේ එක්සත් රාජධානිය ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකා පාර්ශ්වය අගය කළේය. වෙරළාසන්න සුළං මාර්ග සිතියම පිළිබඳව ශ්‍රී ලංකාව එක්සත් රාජධානි දූත පිරිස දැනුම්වත් කළ අතර, එක්සත් රාජධානියේ විශේෂඥතාව සමඟ මෙම ක්ෂේත්‍ර තුළ අත්කර ගත හැකි සහයෝගීතාව පිළිබඳව අදහස් හුවමාරු විය.

සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයද ඇතුළුව නීතිමය සංක්‍රමණික මාර්ග සඳහා පහසුකම් සැලසීමේ අවශ්‍යතාව පිළිබඳව දෙරටේ දූත පිරිස් අදහස් හුවමාරු කරගත්තේය. දෙරටේ ජල විද්‍යාත්මක කාර්යාල අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සමුද්‍රීය සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලය සහ අයෝරා වැනි ජාත්‍යන්තර සංවිධානවල අධ්‍යාපනය සහ සහයෝගීතාව සඳහා ඇති අවස්ථාද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ අනෙකුත් රාජ්‍ය ආයතන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම සංවාදයට සහභාගී වූහ. මීළඟ සංවාදය 2025 වසරේදී පැවැත්වේ.

 විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මැයි 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close