ලුම්බිණි ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහය දෙන බවට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දෙයි

ලුම්බිණි ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහය දෙන බවට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දෙයි

Image 01

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැප්තැම්බර් 02 වැනි ඉරු දින සිය දෙදින නේපාල ද්විපාර්ශ්වික සංචාරය නිමාවට පත් කළේය. ඓතිහාසික ලුම්බිණි පුදබිම සංරක්ෂණය කිරීම සහ එහි පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ලුම්බිණි ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සහය දීමට ශ්‍රී ලංකාව සූදානම් බව මෙම සංචාරය අතරතුරදී ඒ මහතා ප්‍රකාශයට පත් කළේය. 2018 අගෝස්තු 30-31 යන දෙදින තුළ පැවැති සිවුවැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා නේපාලයේ සංචාරය කර තිබිණි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 2018 සැප්තැම්බර් 01 වැනි සෙනසුරාදා දින නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි භන්දාරි මහත්මිය සමග පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුරදීය. ඉන් අනතුරුව නේපාල ජනපති නිල නිවෙස වූ ශීතල් නිවස් හිදී ජනාධිපති සිරිසේන මහතා වෙනුවෙන් නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබිණි. එදින උදෑසන ජනාධිපතිවරයා සහ නියෝජිත පිරිස සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි පුදබිම වෙත සංචාරයක නියැළිණි. 50, 000 කට අධික ශ්‍රී ලාංකික බැතිමතුන් පිරිසක් වාර්ෂිකව ලුම්බිණි පුදබිම වැඳපුදා ගනිති.

පසුගිය වසර කිහිපය තිස්සේ දෙරට අතර පැවැති සම්බන්ධතා නායක දෙපළ සිය රැස්වීමේදී තෘප්තියෙන් යුතුව සමාලෝචනය කළහ. නේපාලයේ සැබෑ මිතුරකු වීම සම්බන්ධයෙන් සහ රට විනාශයට පත් කළ 2015 භූමිකම්පාවෙන් පසු දුන් සහය, විශේෂයෙන්ම කත්මණ්ඩු නුවර ආනන්ද් කුටීර් විහාරය හා රාතෝ මචින්ද්‍රනාත් දෙවොල පිළිසකර කිරීමේ ප්‍රයත්නවලට ලබා දුන් සහය සම්බන්ධයෙන් නේපාල ජනපතිනිය ශ්‍රී  ලංකාවට සිය කෘතඥතාව පළ කළාය. දෙරට අතර සංචාරය කරන සංචාරකයන් හා කලාපයට පිටතින් පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වර්ධනය කිරීම සඳහා මුලපිරීමක් වශයෙන් ‘බෞද්ධ සංචාරක ප්‍රදේශයක්’ ප්‍රවර්ධනය කිරීමේ හැකියාවද නායක දෙපළගේ සාකච්ඡාවට බඳුන් විය.

සිවුවැනි බිම්ස්ටෙක් සමුළුව සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් නේපාල රජයට සුබපැතුම් පිරිනැමූ ජනාධිපති සිරිසේන මහතා බිම්ස්ටෙක් සංවිධානයේ නව සභාපතිවරයා වශයෙන් කත්මණ්ඩු ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම සඳහා නේපාලයේ සහයෝගය ඉල්ලා සිටියේය.

නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි මහතා සමඟ පැවැති හමුවේදී දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපති සිරිසේන මහතා අවධාරණය කළ අතර, සාකච්ඡාවට බඳුන් වූ කරුණු ඉදිරියට ගෙනයෑම සඳහා ශ්‍රී ලංකා-නේපාල ඒකාබද්ධ කොමිසම නුදුරේදීම පැවැත්වෙන බව නේපාල අග්‍රාමාත්‍යවරයා පැවසීය.

නේපාලයේ ක්‍රමෝපායික හා සමාජ-ආර්ථික පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද ‘වෙළෙඳ, සංචාරක හා ආයෝජන සංවාදය’ක් අගෝස්තු 31 වැනි දින ජනාධිපති සිරිසේන මහතා විසින් විවෘත කරන ලදී. එම හමුව ඇමතූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා, ඉදිකිරීම්, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය පහසුකම්, ඇඟලුම් සහ හෝටල් වැනි ක්ෂේත්‍රවල නියුතු ශ්‍රී ලාංකික සමාගම්වලට නේපාලයේ ආයෝජනය කිරීමට පහසුකම් සපයන ලෙස ඉල්ලා සිටියේය.

මෙම සංචාරය අතරතුරදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබිණි. ඉන් පළමුවැන්න නේපාල විදේශ කටයුතු ආයතනය සහ බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් වන අතර දෙවැන්න යොවුන් සංවර්ධනය සඳහා වූ සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කත්මණ්ඩු නුවර පිහිටි සාර්ක් සංවිධානයේ මහලේකම් කාර්යාලයටද ගිය අතර එහිදී සාර්ක් මහලේකම් අම්ජාඩ් හුසේන් බී. සියාල් මහතා සහ මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් විසින් ඒ මහතා පිළිගනු ලැබිණි. සාර්ක් මහලේකම් කාර්යාලයට පැමිණි සිය පළමු අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ජනාධිපතිවරයා එහි පැලයක්ද රෝපණය කළේය. සාර්ක් මහලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇමතූ ජනාධිපති සිරිසේන මහතා සංවිධානයේ මුල් සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාව සාර්ක් ක්‍රියාදාමයට දැඩි ලෙස සහය දක්වන බවත්, තමන් මහලේකම් කාර්යාලයට පැමිණීමේ අරමුණ මහලේකම්වරයා සහ කාර්ය මණ්ඩලය විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය දිරිමත් කිරීම බවත් ප්‍රකාශ කළේය.

ආනන්ද් කුටීර් විහාරයටද ගිය ජනාධිපතිවරයා හට එම විහාරය සහ රාතෝ මචින්ද්‍රනාත් දෙවොල පිළිසකර කිරීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව කරුණු දක්වන ලදී. ජනාධිපති සිරිසේන මහතා සහ නියෝජිත පිරිස කත්මණ්ඩු නුවර පිහිටි පශුපතිනාත් දෙවොලටද ගොස් ආශීර්වාද ලබාගත්හ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

 2018 සැප්තැම්බර් 03 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close