ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සංවිධාන යේ සභාපති ධුරය භාරගැනීමත් සමඟින් එය වඩාත් කාර්යක්ෂම සංවිධානයක් කිරීමට බිම්ස්ටෙක් නායකයෝ තීරණය කරති 

ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සංවිධාන යේ සභාපති ධුරය භාරගැනීමත් සමඟින් එය වඩාත් කාර්යක්ෂම සංවිධානයක් කිරීමට බිම්ස්ටෙක් නායකයෝ තීරණය කරති 

BIMSTEC chair hand over

කත්මණ්ඩු නුවර පැවැති  බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිවුවැනි සමුළුව අවසානයේදී  2018 අගෝස්තු 31 වැනි දින එහි සභාපතිත්වය ශ්‍රී ලංකාවට පිරිනැමිණි.

නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි මහතාගෙන් බිම්ස්ටෙක් සංවිධානයේ සභාපති ධුරය භාරගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාව කෙරෙහි තැබූ විශ්වාසය සම්බන්ධයෙන් සාමාජික රටවල්වලට සිය ස්තූතිය පළ කළ අතර කත්මණ්ඩු සමුළුව විසින් සම්මත කරගන්නා ලද වැදගත් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව උදක්ම අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය. නව සභාපතිවරයාට සුබ පැතූ සියලු බිම්ස්ටෙක් නායකයෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ සංවිධානය ශක්තියෙන් යුතුව ඉදිරියට යනු ඇතැයි සිය විශ්වාසය පළ කළහ. මේ අනුව පස්වැනි බිම්ස්ටෙක් සමුළුව ශ්‍රී  ලංකාවේ පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට සභාපති ධුරය පිරිනැමීමට පෙර, “සාමකාමීබවෙන්, සශ්‍රීකත්වයෙන් සහ තිරසරබවෙන් යුත් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයක්” යන මැයෙන් යුත් කත්මණ්ඩු සමුළු ප්‍රකාශනය සම්මත කරගත් ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ ජනාධිපතිවරු, ඉන්දියාවේ, බංග්ලාදේශයේ, නේපාලයේ සහ තායිලන්තයේ අග්‍රාමාත්‍යවරු මෙන්ම භූතාන රජයේ ප්‍රධාන උපදේශකවරයා බිම්ස්ටෙක් සංවිධානයේ දැනට ඇති සහයෝගිතා ක්ෂේත්‍ර සමාලෝචනය කර, ප්‍රතිසංවිධානය කර වඩාත් කාර්යක්ෂම කිරීමටත්, ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබාගැනීමේ අරමුණෙන් ක්‍රියාකාරකම්, වැඩසටහන් හා ව්‍යාපෘති සඳහා වූ ක්‍රියාකාරී ක්‍රමවේද අනුකූලනය කිරීමටත් එකඟ වූහ. එම ප්‍රකාශනයෙන් බිම්ස්ටෙක් සංවිධානයේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාව පිළිගනු ලැබිණි.

බිම්ස්ටෙක් ක්‍රියාදාමය වේගවත් කිරීම සඳහා ආයතනික යාන්ත්‍රණ ඇතිකිරීමට පදනම දැමීමද සමුළුවේදී සිදු කෙරිණි. නිත්‍ය බිම්ස්ටෙක් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමටත්, සංවිධානය සඳහා ප්‍රඥප්තියක් කෙටුම්පත් කිරීමටත්, බිම්ස්ටෙක් යාන්ත්‍රණ සහ මධ්‍යස්ථාන සඳහා පරිපාටිමය රීති සකස් කිරීමටත්, බිම්ස්ටෙක් සංවර්ධන අරමුදලක් පිහිටුවීමේ හැකියාව සොයා බැලීමටත් නායකයෝ එකඟ වූහ.

බිම්ස්ටෙක් නායකයන් විසින් නිරීක්ෂණය කරන ලද අත්සන් තැබීමේ උත්සවයකදී, බිම්ස්ටෙක්  විදුලි ජාලක  අන්තර් සම්බන්ධකතාව වෙනුවෙන් එළැඹෙන අවබෝධතා ගිවිසුමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීය. බිම්ස්ටෙක් රටවල විදේශ අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු ගිවිසුමට අත්සන් තැබූහ.

බිම්ස්ටෙක් සංවිධානයේ ප්‍රථම මහලේකම්වරයා වූ ශ්‍රී ලංකාවේ සුමිත් නාකන්දල මහතා සිය ධුර කාලය ඇතුළත සංවිධානයේ කටයුතු ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් ලබා දුන් වටිනා දායකත්වයද සමුළු ප්‍රකාශනයෙන් අගය කිරීමට ලක් විය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි ස්වර්ණා පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික හා වෙළෙඳ කටයුතු පිළිබඳ අතිරේක ලේකම් රවිනාථ ආර්යසිංහ, ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීහු සිවුවැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 සැප්තැම්බර් 02 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close