නොබැඳි ව්‍යාපාරයේ (NAM) මාර්ගගත අමාත්‍ය රැස්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කළ ප්‍රකාශය 2020 ඔක්තෝබර් 09 වැනි සිකුරාදා දින

නොබැඳි ව්‍යාපාරයේ (NAM) මාර්ගගත අමාත්‍ය රැස්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කළ ප්‍රකාශය 2020 ඔක්තෝබර් 09 වැනි සිකුරාදා දින

 

 

ගරු සභාපතිතුමනි,

තානාපතිවරුනි,

සම්භාවනීය නියෝජිතවරුනි,

නෝනාවරුනි මහත්වරුනි,

 

අද දින මෙම රැස්වීමට සහභාගී වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකාව සතුට පළ කරයි. නොබැඳි ව්‍යාපාරයට උපත ලබා දුන් ඓතිහාසික බැන්දුංග් සමුළුවේ 65 වන සංවත්සරය 2020 දී සනිටුහන් කෙරෙයි. නොබැඳි ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ එහි සාකච්ඡාවලට සහභාගී වෙමින්, මෙම ව්‍යාපාරය වර්ධනය වනු දැකීමේ ගෞරවයට පාත්‍ර වී තිබේ.

නොබැඳි ව්‍යාපාරයේ පදනම ලෙස පවතින සහ එහි පොදු අභියෝග සහ අරමුණු පිළිබිඹු කරන බැන්දුංග් සමුළුවේ මූලික මූලධර්ම දහය සඳහා සිය කැපවීම් ශ්‍රී ලංකාව යළිත් තහවුරු කරයි.

ගරු සභාපතිතුමනි,

බැන්දුංග් සමුළුව සහ එහි පසුකාලීන වර්ධනයන්, මෙම මූලධර්ම තුළින් මතුවෙමින් විදේශ මැදිහත්වීම්, ආක්‍රමණ, විදේශ වාඩිලෑම, ආධිපත්‍යය යනාදියට එරෙහි වීම සහ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම තුළින් යටත් විජිතවාදය අවසන් කිරීම සඳහා අපේ රටවල් එක්සත් කළ අතර, විශාල හා කුඩා යන සියලු ජාතීන්ගේ සමානාත්මතාවය පිළිගැනීම අපගේ කැපවීම වී තිබේ.

අද, නොබැඳි ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකින් සහ ලෝක ජනගහනයෙන් අඩකට වඩා සමන්විත වන අතර, බහුපාර්ශ්වීයත්වයේ මූලධර්ම සහතික කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් දරන විශාලතම රාජ්‍යයන් සමූහය වෙයි.

ස්වෛරීභාවය, ස්වාධීනත්වය, ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව සහ වෙනත් රාජ්‍යයන්ගේ කටයුතුවලට මැදිහත්වීම් නොකිරීම යන මූලධර්ම, අද වන විට සාමකාමී ලෝක සංවිධානයක් සඳහා අත්‍යවශ්‍ය අංග වේ. එබැවින්, මෙම ව්‍යාපාරයේ අත්තිවාරම අප විසින් ආරක්ෂා කළ යුතු වන අතර සහයෝගීතාවයෙන් යුතුව එකිනෙක රටවලට අඛණ්ඩව සහාය විය යුතුය.

ගරු සභාපතිතුමනි,

මේ වන විට, කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ ලෝකය නූතන ඉතිහාසයේ විශාලතම අර්බුදය කරා ගමන් කරමින් සිටින අතර,එය බහුපාර්ශ්වීයවාදයට එරෙහිව තවත් උග්‍රවන අභියෝගයන්ට තුඩු දෙයි. එක්සත්කම, සහයෝගීතාවය සහ බහුපාර්ශ්වික සහයෝගීතාව සඳහා වන කැපවීම පුනර්ජීවනය කිරීම, කාලීන අවශ්‍යතාවයයි. අපගේ ප්‍රතිචාරයේ පරිමාණය මෙම අර්බුදයේ විශාලත්වයට අනුරූප විය යුතුය.

මෙම වසංගතය තුළ සාමාජික රටවල අවශ්‍යතාවය සපුරාලීම සඳහා නොබැඳි ව්‍යාපාරයේ කාර්ය සාධක බලකායක් පිහිටුවීම මඟින්, ව්‍යාපාරය සඳහා අත්‍යවශ්‍ය සහයෝගී නායකත්වය පිළිබඳව අවධාරණය කොට ඇත. ශ්‍රී ලංකාව, එවැනි ප්‍රයත්න සඳහා සිය සහයෝගය යළි තහවුරු කරයි.

ක්‍රියාශීලී පියවර රැසක් තුළින් ශ්‍රී ලංකාව මෙම වෛරසයේ ව්‍යාප්තිය සාර්ථක ලෙස මැඩපවත්වා ගෙන ඇති බව දැනුම් දීමට මම සතුටු වෙමි. ශ්‍රී ලංකාවේ 90% ට වඩා ඉහළින් පවතින සුවපත් වීමේ අනුපාතය, ගෝලීය අත්දැකීම්වලට වඩා ඉතා ඉහළ මට්ටමක පවතී.අපි අපගේ අත්දැකීම් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ බෙදා ගන්නෙමු.

කොවිඩ්-19 සඳහා තිරසාර චිකිත්සක විසඳුමක් කරා ලෝකය ඉදිරියට යත්ම, මෙම වෛරසයට ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය වෛද්‍ය සම්පත් සඳහා සියලු රටවලට අසීමිත ප්‍රවේශයක් තිබිය යුතු බවටත්, මෙම ව්‍යාපාරයේ මූලධර්ම මෙන්ම 2030 තිරසාර සංවර්ධන අරමුණු කෙරෙහි අපගේ සාමූහික කැපවීම අඩපණ කරවන දේශපාලන අභිප්‍රායවලින් එවැනි ප්‍රවේශයකට බාධාවක් නොවන බවටත්, මෙම ව්‍යාපාරය අවධාරණය කළ යුතුය.

ගරු සභාපතිතුමනි,

මෙම වසංගතය නිසා ආර්ථික බිඳ වැටීමකට හේතුවන ඉහළ යමින් පවතින ණය අර්බුදය පිළිබඳව ද ශ්‍රී ලංකාව සැලකිලිමත් වේ. මෙම අර්බුදකාරී අවධියේ දී සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ජාත්‍යන්තර මූල්‍යකරණය ඉහළ නැංවීම සහ ණය සඳහා තාවකාලික සහන ලබා දීම අවශ්‍ය වේ.

අවම සංවර්ධිත රටවල්, සංවර්ධනය වෙමින් පවතින ගොඩබිමින් වට වී ඇති රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රටවල් වැනි වඩාත්ම අවදානමට ලක්වන සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර කිරීම සඳහා ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව සඳහන් කරන අතරම, මධ්‍යම ආදායම් ලබන රටවල (MICs) අවශ්‍යතා පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවක් පෙනීයාම කණගාටුවට කරුණකි. මධ්‍යම ආදායම් රටවලට සහ ගෝලීය දකුණට මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටී.

ලෝක සාමය සුරැකීම සඳහා වූ ප්‍රයත්න මධ්‍යයේ, ලොව පුරා පවතින සන්නද්ධ ගැටුම්, ආක්‍රමණශීලී ව්‍යාප්තිවාදී ප්‍රතිපත්ති, ත්‍රස්තවාදී ක්‍රියා සහ බෙදුම්වාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය පිළිබඳ බලවත් පීඩාවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් දිගින් දිගටම බලපෑමට ලක්වන බව නිරීක්ෂණය වීම කනගාටුවට කරුණකි. දශක තුනක් තිස්සේ බෙදුම්වාදය හා ත්‍රස්තවාදය අත්විඳ ඇති ශ්‍රී ලංකාව, ත්‍රස්තවාදයේ සියලු ආකාරවල ප්‍රකාශයට පත්වීම්, කෙදිනක හෝ කවරෙකු හෝ විසින් සිදුකරන එවැනි ක්‍රියාවන්, හැකි ශක්තිමත්ම ආකාරවලින් හෙළා දකී. ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීම, වැළැක්වීම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වැඩිදියුණු කළ සහයෝගීතාවයේ සහ නොබැඳි ව්‍යාපාරයේ එකමුතුභාවයේ වැදගත්කම අපි නැවත අවධාරණය කරන්නෙමු.

පිරිහෙමින් පවතින පලස්තීනයේ තත්ත්වය සහ කියුබාව, ඉරානය, වෙනිසියුලාව සහ වෙනත් රටවලට පනවා ඇති ආර්ථික සම්බාධක පිළිබඳව ද ශ්‍රී ලංකාව සැලකිලිමත් වේ.

අන්තර්-රාජ්‍ය ආරවුල් පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන්, නොබැඳි ව්‍යාපාරයේ මූලධර්මවලට අනුකූලව, බලහත්කාරකම් කිරීම හෝ බලය යෙදවීමට වඩා ගැටලු විසඳීම සහ සම්මුතියක් ඇති කර ගැනීම සඳහා වඩාත් ඵලදායී යාන්ත්‍රණය වන්නේ සංවාදය වන බව ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

ගරු සභාපතිතුමනි,

සාමකාමී, සමෘද්ධිමත්, සාධාරණ හා යුක්ති සහගත ලෝක සංවිධානයක් ස්ථාපිත කිරීම සඳහා වන මෙම ව්‍යාපාරයේ සාමූහික අපේක්ෂාවන්, මූල්‍ය හා ආර්ථික අර්බුද, අසමාන ව්‍යාප්තිය හා සීමිත සම්පත් සහ ජාත්‍යන්තර ක්‍රමය තුළ පවතින සහයෝගීතාවයේ ඌනතාවය හේතුවෙන් අභියෝගයට ලක් වේ. මේවායින් සමහරක්, තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කිරීම සහ නොබැඳි ව්‍යාපාරය පිළිබඳ දැනුම තුළින් විසඳිය හැකිය.

ගෝලීය අර්බුදයන් සඳහා සර්ව සාධාරණ විසඳුම් සහ තිරසාර ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය වේ. එබැවින්, සමාජ-ආර්ථික හා ආරක්ෂක අභියෝග රැසකට සහ ඒ හා සමානව වැදගත් ගෝලීය දේශගුණික විපර්යාසයන් පිළිබඳ අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී බහුපාර්ශ්වීයත්වය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අප නැවත කැපවිය යුතුය.

සභාපතිත්වය දරන රාජ්‍යය ආරම්භ කරන ලද පරිදි, කොවිඩ්-19 වසංගත තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 31 වැනි විශේෂ සැසිවාරය කැඳවීමට සහාය වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකාව සතුටට පත්වන අතර, එහි සාකච්ඡා සඳහා ක්‍රියාකාරීව සහභාගී වනු ඇත.

අවසාන වශයෙන්, සභාපතිතුමනි, පෙර නොවූ විරූ අභියෝගයන් හරහා ව්‍යාපාරයට නායකත්වය දීම සහ මෙම රැස්වීම කැඳවීම වෙනුවෙන්, නොබැඳි ව්‍යාපාරයේ සභාපතිත්වය දරන රාජ්‍යය ලෙස අසර්බයිජාන් ජනරජය වෙත මගේ දූත පිරිසේ ස්තූතිය පිරිනැමීමට කැමැත්තෙමි.

අයුබෝවන්.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close