බෙදුම්වාදය පරාජය කළ ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වෙලා

 බෙදුම්වාදය පරාජය කළ ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වෙලා

බෙදුම්වාදි කුමන්ත්‍රණය දේශීයව පරාජය කළ ශ්‍රී ලංකා හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වී ඇති බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සඳහන් කෙළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් සංවිධානය කර තිබූ උත්සවයකට නවීන තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා එසේ සඳහන් කෙළේය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධානය කර තිබූ චාම් උත්සවයට සහභාගි වූ අමාත්‍යවරයා එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ධජය එසවීමටද සහභාගි විය. මෙම සංවත්සරය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළ අමාත්‍යවරයා මෙසේද සඳහන් කෙළේය.

එක්සත් ජාතීන්ගේ සංවාධානයේ 75 වැනි සංවත්සරය සහ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 65 වැනි සංවත්සරය සැමරීමේ ඓතිහාසික අවස්ථාවේ දී ඔබ ඇමතීමට ලැබීම සතුටට කරුණකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හැත්තෑපස් වැනි වසරට එළැඹීම මඟින් පෙන්නුම් කරන්නේ මෙම සංවිධානයේ පමණක් නොව, සියලුම රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවයට හා ඒවායෙහි භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ ඔවුන්ගේ අභ්‍යන්තරික කටයුතුවලට ඇඟිලි නොගැසීම යන මූලික මූලධර්ම මත පදනම් වූ බහුපාර්ශ්විකභාවය පිළිබඳ සංකල්පයේ ද චිරස්ථිතියයි. සාමාජික රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර වර්ධනය කොට ගෙන ඇති හවුල්කාරිත්වයන්, මෙම මූලධර්ම මත පදනම් වූ කල විශිෂ්ඨ අන්දමින් ඉදිරියට ගමන් කරයි.

අපි මෙම වැදගත් සන්ධිස්ථානය සමරන අවස්ථාවේ දී, කොවිඩ්-19 වසංගතය පිලිබඳ පෙර නොවූ විරූ අභියෝගයට ලෝකය මුහුණ දී සිටී. මෙම වෛරසය දේශ සීමාවන් ඉක්මවා යන අතර, වසංගතයේ විවිධ බලපෑම්වලට ඔරොත්තු දීම හෝ ඒ සඳහා විසඳුම් සෙවීම කිසිදු සාමාජික රටකට තනිව කළ නොහැකිය. මෙම වසංගතයට විසඳුම් සෙවීම සඳහා බහුපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට ධෛර්යය දීම සහ ගෝලීය සහයෝගීතාව බලමුලු ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම වසංගතයේ බහුවිධ අභියෝගයන්ට මුහුණ දීම සඳහා වන ගෝලීය ප්‍රතිචාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබෙන දායකත්වය ශ්‍රී ලංකාව අගය කරයි.

මේ වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වයෙහි 65 වැනි සංවත්සරය සමරන අතරම, එහි සාම සාධක මෙහෙයුම්වල සිට විශේෂිත ආයතන දක්වා එක්සත් ජාතීන්ගේ කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකාව සතුටු වෙයි. ශ්‍රී ලාංකිකයන් මෙම සංවිධානය තුළ විවිධ භූමිකාවන්හි විශිෂ්ඨ ලෙස සේවය කර ඇත.

ඓතිහාසික වශයෙන්, එක්සත් ජාතීන්ගේ වැදගත් කතිකාවන් බොහොමයක් සමඟ ශ්‍රී ලංකාව සමීපව සම්බන්ධ වී ඇත. ශ්‍රී ලංකාව 1960 දී ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකයෙකු ලෙස සේවය කළ අතර, 1976 දී මහා මණ්ඩලයේ සභාපතිත්වය දැරීය.

නොබැඳි ව්‍යාපාරයේ (NAM) ආරම්භක සාමාජිකයෙකු ලෙස සහ 77 කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස, විශේෂයෙන් ගෝලීය දකුණේ අවශ්‍යතා නියෝජනය කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බහුපාර්ශ්වික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ශ්‍රී ලංකාව විසින් ලබා දුන් සුවිශේෂී දායකත්වයන්ගෙන් සමහරක් අතරට:

- වසර 30 කට වැඩි කාලයක් තිස්සේ සාගර සඳහා නීති රීති පදනම් කරගත් පටිපාටියක් සඳහා පදනම සපයන ලද මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) පිළිබඳ සාකච්ඡා මෙහෙයවීම,

- බෞද්ධ දින දර්ශනයේ වඩාත්ම පූජනීය දිනය වන වෙසක් උත්සවය එක්සත් ජාතීන් විසින් පිළිපදිනු ලබන දිනයක් ලෙස ඒකමතිකව ප්‍රකාශයට පත් කළ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවට මුල පිරීම;

- නිරායුධකරණ කටයුතු පිළිබඳ උප මහලේකම්වරයා සහ සහ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ මහලේකම්වරයා වැනි ඉහළ මට්ටමේ වෘත්තිකයන් හරහා සංවිධානයට සේවය කිරීම

යනාදිය අයත් වේ.

ගෝලීය සාමය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අපගේ කැපවීම විදහා දක්වමින්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ, කෝට් දි අයිවෝර්, හයිටි, ලෙබනනය, ලයිබීරියාව, මාලි, දකුණු සුඩානය, ටිමෝර් සහ බටහිර සහරා යන රටවල සේවය කිරීම තුළින් 1960 දශකයේ සිටම එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව දායක වී තිබේ. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය දේශීය වශයෙන් අවසන් කිරීම තුළින් බහුවිධ කුසලතා අත්කර ගෙන සිටින ශ්‍රී ලංකාවේ හමුදා රටට මහත් අභිමානයක් ගෙන දී ඇති අතර, එක්සත් ජාතීන් සමඟ ජාත්‍යන්තර පිළිගැනීමට ද ලක්ව ඇත. අප කතා කරන අන්දමට, ශ්‍රී ලාංකික සාම සාධක භටයන් ලෝකයේ වඩාත්ම තීව්‍රතාවයෙන් යුත් ගැටුම් කලාප සමහරක සේවයෙහි යෙදී සිටී. සාම සාධක හමුදාවන් සපයන රටක් ලෙස, වඩාත් සුරක්‍ෂිත හා සාමකාමී ලෝකයක් සඳහා අපගේ දායකත්වය වැඩි දියුණු කිරීමට අපි අපේක්ෂා කරන්නෙමු.

මෙම සැමරුම් උත්සවයේ තේමාව වන “අපගේ අනාගතය එක්ව හැඩගස්වා ගැනීම” අනාගතය කේන්ද්‍රකොට ගත්තක් වන අතර, අප අපේක්ෂා කරන අනාගතය සඳහා සාමූහිකව ක්‍රියාකාරී වීමේ වැදගත්කම යළි අවධාරණය කරයි. මෙම සන්දර්භය තුළ තාරුණ්‍යයේ කාර්යභාරය සහ ඔවුන් අනාගතය දකින ආකාරය ඉතා වැදගත් වන බැවින්, එක්සත් ජාතීන්ගේ 75 සංවාදවල කේන්ද්‍රස්ථානය ලෙස තාරුණ්‍යය හඳුනාගෙන තිබේ. සේවා නියුක්තිය, යෝග්‍ය රැකියා සහ ව්‍යවසායකත්වය සඳහා අවශ්‍ය නිපුණතා සමඟ අනාගතයට මුහුණ දීම පිණිස තරුණ තරුණියන් සන්නද්ධ කිරීමේ උපායමාර්ගික වැදගත්කම සමරමින්, 2014 ජූලි 15 වැනි දින ලෝක තරුණ නිපුණතා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව නායකත්වය ගැනීම මෙහි දී මට සිහිපත් වේ. මෙම දිනය වාර්ෂිකව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සමරනු ලබන අතර, ශ්‍රී ලංකාව සහ පෘතුගාලය, යුනෙස්කෝ සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ තානාපති කාර්යාලය සමඟ එක්ව මෙහි සම සත්කාරකත්වය දරයි.

තිරසාර සංවර්ධනය පිළිබඳ 2030 න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව විසින් අනුමත කොට ඇති අතර ඒ සඳහා ඇප කැපවී සිටී. ජනතාව කේන්ද්‍ර කොටගත් ජාතික ප්‍රතිපත්තියක් රජය  විසින් හඳුන්වා දී ඇති අතර, කෘෂිපාදක නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාවය පිටුදැකීම අපගේ ප්‍රධාන ඉලක්කයක්ව පවතී.

මෙම ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතා මෙන්ම, වඩාත්ම වැදගත් අන්තර්-පරම්පරා අභියෝගයව පවතින, අපගේ පරිසරය ආරක්ෂා කිරීම සහ දේශගුණික විපර්යාස හා ජෛව විවිධත්ව හානිය සමඟ සටන් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරමින්, තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය සහ සහය අපි අගය කරමු.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 75 වැනි සංවත්සර සැමරුමේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ පෙළේ රැස්වීම අමතමින් සඳහන් කළ පරිදි, අප අපේක්ෂා කරන අනාගතය සහතික කිරීම සඳහා මෙම උදාර ආයතනය ශක්තිමත් කිරීමේ ප්‍රයත්න වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප නැවතත් ඇප කැප වනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

සම්භාවනීය අමුත්තනි,

ඔවුන්ගේ කැපවී කටයුතු කිරීම වෙනුවෙන්, පොදුවේ එක්සත් ජාතීන්ගේ පවුලට සහ විශේෂයෙන්ම, කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ කාර්යය මණ්ඩලය වෙත අපගේ ප්‍රශංසාව පළ කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ස්තූතියි.

Video link at: https://youtu.be/EC4ahBkefGk

Print Friendly, PDF & Email
Please follow and like us:

Close