සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුබුදුවාළීම සඳහා පවතින සැලසුම් පිළිබඳව විස්තර කරයි

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුබුදුවාළීම සඳහා පවතින සැලසුම් පිළිබඳව විස්තර කරයි

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, Milano BIT 2023 ජාත්‍යන්තර සංචාරක හුවමාරු ප්‍රදර්ශනයෙන් පසුව, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා සමඟ එක්ව, 2023 පෙබරවාරි 14 වැනි දින සිය කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේ දී සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක මාධ්‍ය සහ සංචාරක කර්මාන්තයේ නියුතු අනෙකුත් පාර්ශ්වකරුවන් සඳහා ජාලකරණ සැසියක් සංවිධානය කළේ ය.

මෙම අවස්ථාවට සහභාගි වූ සංචාරක අමාත්‍යවරයා සහ අනෙකුත් සහභාගිවන්නන් සාදරයෙන් පිළිගත් කොන්සල් ජනරාල් ඩිලානි වීරකෝන් මහත්මිය, සෑම තරාතිරමක් නියෝජනය කරමින් තම නිවාඩු ගත කිරීමට පැමිණෙන සංචාරකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමේ හැකියාව සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාව සතුව පවතින බව අවධාරණය කළා ය. ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික උරුමයන් සහ පුරාවිද්‍යාත්මක වස්තු ආදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉතාලිය බොහෝ පොදු ලක්ෂණ බෙදා හදා ගන්නා බැවින්, ‘පොදු ලක්ෂණ පැවතිය ද වෙනස්ම අත්දැකීම් පිරිනමන ශ්‍රී ලංකාව’, ඉතාලි ජාතිකයන්ගේ දෙවැනි නිවහන බවට පත් විය හැකි බව කොන්සල් ජනරාල්වරිය ප්‍රකාශ කළා ය.

පසුගිය මාස හයක කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට පැමිණි බවත්, සංචාරක පැමිණීම් ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත්, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. Neos සහ ITA යන ගුවන් සේවා සමාගම් සමඟ පැවති සාකච්ඡා ධනාත්මක තත්ත්වයේ පවතින බවත්, ඉතාලි ජාතිකයන් වැඩි පිරිසකට ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා නුදුරු අනාගතයේ දී මිලානෝ සහ රෝමයේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, අමාත්‍ය ප්‍රනාන්දු මැතිතුමා ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ සංචාරක වෙළඳපොළ ඉතාලිය තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, මිලානෝ සහ රෝමය යන නගරවල මහා පරිමාණයේ සංචාරක මාර්ග සංදර්ශන දෙකක් පැවැත්වීමට ද තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

2024 වසර, ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමේ සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂී වර්ධනයක් දැකගැනීමට හැකි වන වසරක් වනු ඇතැයි අමාත්‍ය ප්‍රනාන්දු මැතිතුමා සඳහන් කළේ ය. සංචාරකයින් සඳහා පිරිනමනු ලබන විවිධ අත්දැකීම් සමුදායක් සමඟින් ශ්‍රී ලංකාව යළිදු හඳුන්වා දෙනු ඇත. ශ්‍රී ලංකාව හුදෙක් ‘නැරඹිය යුතුම රටවල්’ නමැති කාණ්ඩයේ පමණක් රැඳී නොසිටිය යුතු බව එතුමා යළිදු අවධාරණය කළේ ය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආශ්‍රිතව 140 කට අධික නාවික සුන්බුන් ප්‍රමාණයක් පවතින බැවින් ශ්‍රී ලංකාව ස්කූබා කිමිදීම සඳහා සුදුසු ගමනාන්තයක් ලෙස හඳුන්වා දෙනු ඇත. හන්තානෙන් ආරම්භ වී හපුතලේ, ඇල්ල හරහා නුවරඑළියෙන් අවසන් වන පරිදි ‘Pekoe trail’ යන තේමාවෙන් යුත් සංචාරක පාගමනක් ද හඳුන්වා දෙනු ලැබේ. ‘Pekoe Trail’ නමැති මෙම සංචාරක පාගමන යුරෝපා සංගමයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන සුන්දර අත්දැකීමකි.

නැරඹිය යුතු ස්ථාන මොනවාද?, වඩාත් යෝග්‍ය ආරක්ෂිත නවාතැන් මොනවාද? ආදී වශයෙන් සංචාරකයන් සතු අවශ්‍යතාවලට විසඳුම් සපයන වැඩිදියුණු කළ ඩිජිටල් යෙදවුමක් නුදුරේ දී හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මාරවිල, වෙන්නප්පුව ආදී මුහුදුබඩ ප්‍රදේශවල නිවාස හිමි, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස මෙම ඩිජිටල් යෙදවුම හරහා කුලී පදනම මත සංචාරකයන්ට ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඇරයුම් කළේ ය.

පැමිණ සිටි පිරිස ඇමතූ ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශයේ සභාපති තිසුම් ජයසූරිය මහතා, ශ්‍රී ලංකාව රැස්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන පැවැත්වීම සඳහා යෝග්‍ය ගමනාන්තයක් ලෙස නැගී එන බැවින්, MICE (රැස්වීම්, දිරි දීමනා, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන) සංචාරක අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඉතාලි ජාතිකයින්ට ඇරයුම් කළේ ය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අනුග්‍රහය යටතේ 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉතාලියේ ඡායාරූප මාධ්‍යවේදී මාර්කෝ බියුමි මහතා, මෙම ජාලකරණ සැසිය අතරතුර ශ්‍රී ලංකාව තුළ තමන් ලද අත්දැකීම පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.  විශිෂ්ඨ ශ්‍රී ලාංකික ආහාර, ජෙෆ්රි බාවා විසින් ස්වභාවධර්මයට අනුකූලව නිර්මාණය කරන ලද ගෘහ නිර්මාණ සහ දර්ශනීය මධ්‍යම කඳුකරය හරහා සිදු කෙරෙන දුම්රිය සංචාර යනාදිය ඔහුගේ ඉදිරිපත් කිරීමට ඇතුළත් විය. ශ්‍රී ලංකාව යනු සෑම දෙනාම කිසිදු සැකයකින් තොරව සංචාරය සඳහා තෝරා ගත යුතු ආරක්ෂිත සහ හිතකාමී සංචාරක ගමනාන්තයක් බවද ඔහු ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ ප්‍රණීත ආහාර කලාව ප්‍රවර්ධනය කිරීමටත්, මෙරටට ආවේණික ආගන්තුක සත්කාර පිළිබඳව අදහසක් ලබා දීමටත් මෙම ජාලකරණ සැසිය හරහා අවස්ථාව සැලසිණි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මිලානෝ

2023 පෙබරවාරි 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close