ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම යළි ආරම්භ කෙරේ

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම යළි ආරම්භ කෙරේ

වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් චමරි රුද්‍රිගෝ මහත්මිය මෑතක දී ෆෙඩරල් පාර්ලිමේන්තුවේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මිල්ටන් ඩික් මැතිතුමා හමුවිය. අත්‍යවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය සේවයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ලබා දෙන නොමසුරු සයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ එතුමිය,  රටේ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා රජය විසින් ගනු ලැබූ පියවර සහ ලැබූ ප්‍රගතිය පිළිබඳව කථානායකවරයා දැනුම්වත් කළා ය.

ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම (ASPFG) යළි ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව කෙරෙහි මෙම සාකච්ඡාවේ විශේෂ අවධානය යොමු විය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අතර පවත්නා සබඳතා වැඩිදියුණු කිරීමට ඉවහල් වන මෙම යෝජනාවට කථානායකවරයා සිය සහය ලබා දුන්නේ ය. එතුමා මීට පෙර ඕස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ (ASPFG) සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇත. තවද, මෙම කණ්ඩායම යළි පිහිටුවීමේ උත්සවය ෆෙඩරල් පාර්ලිමේන්තුව තුළ පැවැත්වීම සඳහා එතුමා සිය උනන්දුව පළ කළේ ය.

කථානායකවරයා හමු වූ වැඩ බලන මහ කොමසාරිස්වරිය, ඉන් අනතුරුව, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරයට පත් වූ තෙවැනි කාන්තාව වන කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂැරන් ක්ලේඩන් හමුවී සාකච්ඡාවක් පැවැත්වූවා ය. මෙහිදී යෝජිත මිත්‍රත්ව කණ්ඩායම යළි ආරම්භ  කිරීම පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් පවත්වන ලදී.  නව මිත්‍රත්ව කණ්ඩායම තුළ පුළුල් කාන්තා නියෝජනයක් ඇතුළත් කරන ලෙස නියෝජ්‍ය කථානායකවරිය මෙහිදී වැඩ බලන මහ කොමසාරිස්වරිය උනන්දු කළා ය.

නව ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායම, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ කම්කරු සහ ලිබරල් පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගෙන් සමන්විත වේ. නියෝජ්‍ය කථානායක ක්ලේඩන් මැතිතුමා ද ඊට ඇතුළත් වේ. එහි නව සභාපතිනිය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියක් වන, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මිය යි. ටස්මේනියාවේ ලිබරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙනෙට් සභික වෙන්ඩි අස්කෙව් මහත්මිය එහි උපසභාපතිනිය වේ.

කැන්බරා හි පැවැත්වෙන මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර මිත්‍රත්ව කණ්ඩායම යළි ආරම්භ කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

කැන්බරා

2023 පෙබරවාරි 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close