කොරියානු මාධ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට සැරසෙයි

කොරියානු මාධ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට සැරසෙයි

කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මැතිනිය 2023 මාර්තු 07 වැනි දින කොරියානු මාධ්‍ය ආයතන හයක නියෝජිතයන් හමු වූවා ය. ශ්‍රී ලංකා තානාපතිනිය සහ කාර්ය මණ්ඩලය, නුදුරේදී ම ශ්‍රී ලංකාව තුළ හුරුපුරුදු වීමේ සංචාරයක (FAM සංචාරය) නිරත වීමට නියමිත කොරියානු මාධ්‍යවේදීන් පිරිසක් ශ්‍රී ලංකාවේ හරවත් වූත් විවිධ වූත් සංස්කෘතිය සහ රටේ ප්‍රමුඛ සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳව දැනුම්වත් කළහ.  තවද, ශ්‍රී ලංකාවේ ආහාර කලාව සහ සංස්කෘතිය පිළිබඳව හඳුන්වා දීමේ අරමුණින් මෙම මාධ්‍යවේදීන් සඳහා සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර වේලක් ද පිළිගන්වන ලදී.

විශේෂයෙන්ම පශ්චාද් කොවිඩ් වසංගත සමය තුළ සංචාරයේ නිරත වීම සඳහා වඩාත් යෝග්‍ය සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාව  සම්බන්ධයෙන් කොරියානු ජාතිකයන් දැනුම්වත් කිරීමේ අරමුණින් සෝල් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම හුරුපුරුදු වීමේ සංචාරය සංවිධානය කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ස්ථාන ගවේෂණය කිරීම සඳහා කොරියානු ජනරජයේ බෞද්ධ ප්‍රජාව අතර වැඩි උනන්දුවක් පවතින බැවින්, බෞද්ධ සිද්ධස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මෙම සංචාරයේ අවධානය යොමු කෙරෙනු ඇත.

යුනෙස්කෝ ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කර ඇති අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, දඹුල්ල ආදී ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව දැනුම්වත් කිරීම තුළින් කොරියානු වන්දනාකරුවන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු ය. ලොව සංචාරකයන් බොහෝ දෙනෙකු සංචාරයේ යෙදෙන බෞද්ධ සිද්ධස්ථාන දෙකක් වන මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ද පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ ය.

මෙම සංචාරය අතරතුර කොරියානු මාධ්‍ය ආයතනවලට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ දර්ශනීය සුන්දරත්වය අත්විඳීමේ අවස්ථාව හිමි වනු ඇත. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙම සංචාරය සංවිධානය කිරීම සඳහා තානාපති කාර්යාලය සමඟ හවුල් වී කටයුතු කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

සෝල්

2023 මාර්තු 10 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close