ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානෙ මහතාගේ සංචාරය සමඟින් ශ්‍රී ලංකාව හා ජපානය අතර සබඳතා ශක්තිමත් වේ

ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානෙ මහතාගේ සංචාරය සමඟින් ශ්‍රී ලංකාව හා ජපානය අතර සබඳතා ශක්තිමත් වේ

ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානෙ මහතා 2018 අගෝස්තු 28-30 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. රාජ්‍ය අමාත්‍ය නකානෙ මහතා අගෝස්තු 29 වැනි දින කොළඹ වරායේ පැවැති, ජපානය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද වෙරළාරක්ෂක මුර සංචාරක යාත්‍රා දෙක භාරදීමේ උත්සවයට සහභාගී විය.

මෙම සංචාරය අතරතුරදී රාජ්‍ය අමාත්‍ය නකානෙ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් බැහැ දුටුවේය. ඒ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන්ද මුණගැසුණේය.

“සමුද්‍ර රක්ෂා” හා “සාමරක්ෂා” නම් වූ වෙරළාරක්ෂක මුර සංචාරක යාත්‍රා දෙක, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය හා ශ්‍රී ලංකා රජය අතර අත්සන් කළ ගිවිසුමේ කොටසක් ලෙස, දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීම සඳහා වූ ඒකාබද්ධ ප්‍රකාශය මත පදනම් වෙමින්, ජපානය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී. සමුද්‍රීය ආරක්ෂාව, සමුද්‍රීය නීති ක්‍රියාත්මක කිරීම, සෙවීම හා බේරා ගැනීම, ආපදා අවදානම් අවම කිරීම හා පරිසරය ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍රවල කටයුතුවලට අදාළව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ශක්නුතාව වැඩි කිරීමට මෙම මුර සංචාරක යාත්‍රා හේතුවනු ඇත.

ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා, කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජී-7 සමුළුවේ හවුල්කාරීත්ව වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා වැඩබලන විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළේය. මෙම හවුල්කාරීත්ව වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ අදාළ යෝජනා සම්මුතීන්ට අනුකූලව, වැඩිදියුණු කරන ලද ජී-7 සහයෝගීතාව ඔස්සේ කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයෑම සඳහා ඉලක්කගත සහය ලබාදීම පිණිස සෑම ජී-7 සමුළු සාමාජිකයෙකුම හවුල්කාරී රාජ්‍යයක් තෝරාගත යුතුය. මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රයට සහය ලබාදීමේ අරමුණින් ජපානය සිය හවුල්කාරී රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, කාන්තාවන් හා ගැහැනු ළමුන් සවිබල ගැන්වීම හා ඔවුන්ගේ මානව අයිතිවාසිකම්වලට ගරු කිරීම සාමය ළඟා කරගැනීමෙහිලා හා එය තිරසාරව පවත්වා ගැනීමෙහිලා ඉතා වැදගත්වන බව හඳුනාගැනීම මත මෙම වැඩසටහන පදනම්ව ඇත. මෙම වැඩසටහන යටතේ ජපානයෙන් ලබාදෙන සහය ශ්‍රී ලංකාව අගය කරන බව රාජ්‍ය අමාත්‍ය නකානෙ මහතා වෙත දන්වනු ලැබිණි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

 2018 අගෝස්තු 30 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close