04 වැනි බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද කථාව

04 වැනි බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද කථාව

යුගයේ අවශ්‍යතාවයක් ඉටුකරමින් බිම්ස්ටෙක් සමුළුව ඉතාමත් සාර්ථකව අපේ මිත‍්‍ර සහෝදර රටක් වූ නේපාලයේ කත්මණ්ඩු නුවර දී අද රැස්වීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ වැදගත් අවස්ථාවට අප වෙත ආරාධනා කිරීම පිළිබඳව බිම්ස්ටෙක් සමුළු සංවිධානය කිරීමේ ප‍්‍රධාන විධායක කමිටුවටත්, නේපාල අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු නේපාල රජයටත් අපේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

බිම්ස්ටෙක් සැසිවාරයක් 2016 වසරේදී ඉන්දියාවේ ගෝවාහි දි පවත්වනු ලැබුවා. ඉන්පසුව එහි සාමාජික මිත‍්‍ර රාජ්‍යයන් වශයෙන් අද මෙම සමුළුවට සහභාගීවන්නේ අපි ඉතාමත් සතුටින්. අද සෑම රටක්ම ජාතික වශයෙන් මුහුණදෙන ප‍්‍රශ්න වගේම කලාපීය වශයෙන් මුහුණ දෙන ප‍්‍රශ්න, අන්තර්ජාතික වශයෙන් මුහුණදෙන ප‍්‍රශ්න සැලකීමේ දී බොහෝ සමානකම් දරනවා. බිම්ස්ටෙක් සමුළු සාමාජිකත්වය දරන රටවල් විශේෂයෙන් ඉන්දීය සාගරය අවට මිත‍්‍ර රටවල් වගේම බෙංගාල සමුද්‍ර කලාපය තුළ එකම සංස්කෘතික උරුමයන්, බොහෝ සමාන ආර්ථික රටාවන්, බොහෝ සමාන ඓතිහාසික පසුබිම් මුල් කරගත් සහෝදර මිත‍්‍ර රාජ්‍යයන් විදියට දීර්ඝකාලීන අත්දැකීම් තිබෙන රාජ්‍යයන්හි එකතුවක් වනවා.

අපිට තිබෙන බොහෝ ආර්ථික ප‍්‍රශ්න, දේශපාලන ප‍්‍රශ්න, සමාජ ප‍්‍රශ්න එක හා සමාන තලයක පිහිටා තිබෙනවා. අද ලෝකයේ බොහෝ රටවල් මුහුණදෙන ප‍්‍රශ්න අතරේ අපේ මේ සාමාජික මිත‍්‍ර රාජ්‍යයන් මේ කලාපීය රාජ්‍යයන් බිම්ස්ටෙක් සමුළු සාමාජිකයින් එකම ප‍්‍රශ්න වැලකට මුහුණ දී තිබෙනවා. එහිදී මූලික වශයෙන් කාලගුණික, දේශගුණික විපර්යාස අපේ බොහෝ ආර්ථික සැලසුම් අභියෝගයට ලක් කරනවා. අද ලෝකයේ කාලගුණික, දේශගුණික විපර්යාස සමග මුහුණ දෙන ප‍්‍රශ්නයක් තමයි දුගී භාවය, දුප්පත්කම පිළිබඳ ප‍්‍රශ්නය. එය දුගී භාවය වර්ධනය වීමට ප‍්‍රබල ප‍්‍රශ්නයක් වී තිබෙනවා.

ඒ වගේම මත්ද්‍රව්‍ය පිළිබඳ ප‍්‍රශ්නය මුළු මහත් මානව සමාජයටම බරපතළ අභියෝගයක් වී තිබෙනවා. අද ලෝකයේ සෑම රටකම කුඩා දරුවාගේ සිට පාසල් ශිෂ්‍යයාගේ සිට බරපතළ ප‍්‍රශ්න රාශියකට මුහුණ දී තිබෙනවා. මත්ද්‍රව්‍ය දරුවන් විනාශ කිරීම, නව පරපුර විනාශ කිරීම, සෑම රටකම ජාතියේ අනාගතයට වඩාත් බලපාන්නා වූ ඔවුන්ගේ දැනුම, අධ්‍යාපනය, බුද්ධිය විනාශ කිරීම නීති විරෝධි මත්ද්‍රව්‍ය වගේම බොහෝවිට නීත්‍යානුකූල යැයි හඳුන්වන මත්ද්‍රව්‍යයත් මේ තත්ත්වයට බලපාලා තිබෙනවා. හසීස්, මරිජුවානා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ලෝකයේ ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, දේශපාලනඥයින් බලයෙන් පහ කරන්න, තමන්ට අවශ්‍ය දේශපාලනඥයින් බලයට පත් කරන්න නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප‍්‍රබල ලෙස මැදිහත් වෙනවා.

ඒ නිසා බිම්ස්ටෙක් සමුළුවේ තිබෙන්නා වූ ඉතාමත් පවිත‍්‍ර අරමුණු තුළ ගරු ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළ, අපි කථා කරන නිල් ආර්ථිකයක් පිළිබඳව බලාපොරොත්තු සහිත වැඩපිළිවෙළේදී සමාජය තුළ දූෂණය, වංචාව, අක‍්‍රමිකතාවය, රාජ්‍ය දේපළ අවභාවිතය ඒ සියල්ල ඉවත්විය යුතු වෙනවා. අපි වරකදී කොළ ආර්ථිකයක්, එහෙම නැත්නම් ගී‍්‍රන් ආර්ථිකයක් පිළිබඳව කතා කරනවා. ඒ වගේම අපි නිල් ආර්ථිකයක් පිළිබඳව කතා කරනවා. මේ සියල්ල තුළම යහපත් රාජ්‍ය පාලනයක් සඳහා යහපාලන සමාජ සංකල්පයන් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය රාජ්‍යයන් තුළ ස්ථාපිත කරමින් මානව නිදහස මූලික අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස සහතික කරමින් වැඩ කිරීමේ දේශපාලන ක‍්‍රමයන් පිළිබඳ මුළු මහත් මානව ප‍්‍රජාව විශ්වාසයන් තබනවා.

මම ඉතාමත් සතුටුවෙනවා මා නියෝජනය කරන ශ‍්‍රී ලංකාවේ පසුගිය වසර තුන හමාරක කාලය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරලා තිබෙනවා. මානව හිමිකම් ශක්තිමත් කරලා තිබෙනවා. දූෂණය වංචාව ඉවත් කිරීම සඳහා ආයතන පිහිටුවලා තිබෙනවා. තරාතිරම නොබලා දේශපාලන පක්ෂ නොබලා ආණ්ඩුව ද විපක්ෂය ද නොබලා දූෂිතයින්ට විරුද්ධව ගත යුතු තීන්දු තීරණ සහ නීතිය කි‍්‍රයාත්මක කරලා තිබෙනවා.

අපේ රටේ පිරිහී තිබු නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරලා අධිකරණයේ ස්වාධීනත්වය, අපක්ෂපාතිත්වය ඇති කරලා තිබෙනවා. බිම්ස්ටෙක් සමුළුව තුළ බලාපොරොත්තු වන ඉතාමත් පවිත‍්‍ර වූ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මේ සියලු ක්ෂේත‍්‍රයන් පිළිබඳ අප විසින් අවධානය යොමු කළ යුතු වෙනවා.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව වගේම ආර්ථිකය, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ධීවර ක්ෂේත‍්‍රය මේ සියලු අංශ අද ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා අපි අපේ රටවලට අනන්‍ය වූ එක් එක් විෂය ක්ෂේත‍්‍රයන් තුළ කි‍්‍රයාත්මක කරන්නා වූ ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලනික වැඩපිළිවෙළවල් තුළ කලාපීය වශයෙන් අපට අනන්‍ය වූ අපට ගැළපෙන්නා වූ පොදු එකඟතාවයන්ට එළැඹිය හැකි වන්නා වූ සියලු දේවල් පිළිබඳව පොදු අරමුණක් තුළ කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.

බිම්ස්ටෙක් සමුළුව බහුකාර්ය, බහුවිධ කරුණු රැසක් අරමුණු කර ගනිමින් අපට වැඩකළ හැකි වෙනවා. කිසිදු අංශයකට බිම්ස්ටෙක් අරමුණු සීමාවිය යුතු නැහැ කියා මා විශ්වාස කරනවා. අද මානව සමාජය මුහුණ දෙන්නා වූ ප‍්‍රශ්න, එක් එක් රටවල්වලට බලපාන්නා වූ ප‍්‍රශ්න කලාපීය වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් ඇතිවන්නා වූ ප‍්‍රශ්න කලාපයට බලපාන්නේ කෙසේද? අපේ මිත‍්‍ර සාමාජික රටවලට බලපාන්නේ කෙසේද? මේ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයකින් වගේම පැහැදිලි වැඩපිළිවෙළකින් අධිෂ්ඨානශීලීව ඉදිරියට යා යුතු වෙනවා.

වසර 20 කට වැඩි කාලයක අත්දැකීම් බිම්ස්ටෙක් සමුළුවට තිබෙනවා. ඒ නිසා බිම්ස්ටෙක් සහෝදරත්වය, එකඟතාවය, අරමුණ, අධිෂ්ඨානය මේ සියල්ල ශක්තිමත් පදනමකින් කි‍්‍රයාත්මක කළහැකි වන්නේ අප තුළ ඇති විශ්වාසය, සහෝදරත්වය කියන කරුණු මුල් කර ගෙනයි. අපේ සහෝදර රාජ්‍ය නායකයින් මෙන්ම රාජ්‍යතාන්ති‍්‍රක ඔබ මේ බොහෝ ක්ෂේත‍්‍රයන් තුළ පුළුල් අවබෝධයක් දැනුමක් අත්දැකීමක්, පරිණතභාවයක් තිබෙන පිරිසක්. ඒ නිසා මේ තාක්ෂණික ලෝකයේ අධි තාක්ෂණය තුළ ඉදිරියට යනවා වගේම අපේ සංස්කෘතික උරුමයන්, සංස්කෘතික පදනම මේ සියල්ල රැකගෙන අපේ ශිෂ්ටාචාරයේ ශ්‍රේෂ්ඨත්වය සමග ඉදිරියට යා යුතු වෙනවා.

අපට අනන්‍ය වූ, අපට උරුම වූ අපේ සංස්කෘතින්, ශිෂ්ටාචාර අප විසින් ගොඩනගාගත් අතීත අත්දැකීම් සමග මානව සමාජයේ ප‍්‍රගමනය සඳහා අනාගතය සඳහාත් බලාපොරොත්තු සහිතව ඉදිරියට යාමේ දී ඒ විශිෂ්ට ගමන් මාර්ගයට බිම්ස්ටෙක් සමුළුව ශක්තිමත් පදනමක් වී තිබෙනවා.

ඒ නිසා අද දවසේ මේ ඉතාමත් වැදගත් උතුම් ශ්‍රේෂ්ඨ වූ කාර්යයට එක්වීමට ලැබීම පිළිබඳව මගේත් ශ්‍රී ලංකා රජයේ ජනතාවත් වෙනුවෙන් සියලුදෙනා වෙත ස්තූතිය පිරිනමනවා.

( 2018-08-30 වන දින කත්මණ්ඩු නුවරදී)

Print Friendly, PDF & Email
Please follow and like us:

Close