IORA සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය දෙන ශ්‍රී ලංකාව 2022 සිට 2026 දක්වා සිය දෙවැනි වැඩ සැලැස්ම සකස් කරයි

IORA සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය දෙන ශ්‍රී ලංකාව 2022 සිට 2026 දක්වා සිය දෙවැනි වැඩ සැලැස්ම සකස් කරයි

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය හා සම්බන්ධ ගැටළු පිළිබඳ අපගේ සාකච්ඡා ක්‍රියාවට නැංවිය යුතු බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් යුත් සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ ක්‍රියාකාරී කණ්ඩායමේ (IORA-WGMSS) දෙවැනි රැස්වීම 2021 මාර්තු 18 සිට 19 දිනවල පැවති අතථ්‍ය  රැස්වීමේ සමාරම්භක දේශනය පවත්වමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය. මෙම සමුළුව අයෝරා හි සාමාජික රටවල් සහ අයෝරා මහලේකම් කාර්යාලය නියෝජනය කරන නියෝජිතයින්ගේ අතථ්‍ය සහභාගීත්වයෙන් යුතුව, අතථ්‍ය ලෙස පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන සහ අනෙකුත් කලාපීය හා ජාත්‍යන්තර ආයතන සහ ජාතික ආණ්ඩු විසින් දියත් කරන ලද විවිධ පියවරයන් තිබිය දී ක්‍රියාත්මක වන සමුද්‍රීය අපරාධ ත්‍රිත්වය - මත්ද්‍රව්‍ය, මිනිස් හා ආයුධ ජාවාරම පිළිබඳව ඔහු සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන වාර්තාවක් උපුටා දක්වමින් ඉන්දියානු සාගරයේ මසුන් ඇල්ලීමෙන් 40% ක් වන නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීමේ පවතින අනතුරුදායක බව පිළිබඳව ඔහු තවදුරටත් අවධාරණය කළේය. තවද, මෙම නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම මඟින් සමුද්‍රීය පරිසරයට එල්ලවන බලපෑම සහ ධීවර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම පිළිබඳව ද විදේශ ලේකම්වරයා සඳහන් කළේය. බෙංගාල බොක්කෙහි වර්ග කිලෝමීටර 60,000 ක මළ කලාපය සහ ඉන්දියන් සාගරයේ දකුණු කොටසේ පවතින විශාල කසළ ගොඩවල් සිහිපත් කරමින්, සමුද්‍රීය පරිසරය තුළ ජාවාරම් හා දූෂණය ඉහළ යාම සඳහා ධීවර බෝට්ටු සම්බන්ධ වන ආකාරය ඔහු විස්තර කළේය. “මිනිසුන් විසින් සෑම වසරකම අවම වශයෙන් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලියන 8 ක් සාගරයට මුදා හැරීමත් සමඟ, ඉක්මනින්ම මත්ස්‍යයින්ට වඩා වැඩි ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයේ තිබෙනු ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍යයට අහිතකර තත්ත්වයන් ඇතිවනු ඇත.”

තවදුරටත් “එසේම, ඉන්දියානු සාගරයේ තවත් ප්‍රවණතා තුනක් මතුවෙමින් හෝ දැනටමත් මතු වී පවතින බව මම දකින බව කිව යුතුය. අංක එක, සමුද්‍රීය වෙළඳාම දේශපාලනීකරණය වීම; අංක දෙක, සමුද්‍රීය යටිතල පහසුකම් දේශපාලනීකරණය වීම සහ අංක තුන, ඉන්දියානු සාගරයේ හමුදාකරණය ඉහළ යාමයි.” යයි පැවසූ ඔහු, “ඉන්දියානු සාගර කලාපයේ දැවැන්ත අසමමිතියක් පවතින බැවින් අපට ජාත්‍යන්තර නීති පදනම් කරගත් සමුද්‍රීය පිළිවෙලක් අවශ්‍ය වන අතර, සමුද්‍රීය වෙළඳ සම්බන්ධතාවය වැඩි දියුණු කළ යුතුය.” යයි අවධාරණය කළේය.

IORA-WGMSS හි ප්‍රමුඛ රට ලෙස ඉදිරි ධූර කාලය තුළ දී සිය නායකත්ව භූමිකාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවට සිය විශ්වාසය පළ කළ විදේශ ලේකම්වරයා, ඉන්දියන් සාගර කලාපය තුළ කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා අයෝරා පවුලට ප්‍රතිලාභ සැලසීම පිණිස, 2021 සිව්වැනි කාර්තුවේ දී ඇරඹීමට අපේක්ෂිත උප සභාපති ධූර කාලය තුළ දී ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව පැවසීය.

අයෝරා හි වැඩබලන මහලේකම් ආචාර්ය ගුණවන් එච්. ගැටොට් මහතා මෙම සමාරම්භක උළෙලට අතථ්‍ය ලෙස එක්වෙමින්, කොවිඩ්-19 වසංගතය පිළිබඳ අභියෝග මධ්‍යයේ වුව ද, IORA-WGMSS හි දෙවැනි රැස්වීම දෙමුහුන් ආකෘතියකින් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති සුවිශේෂී විධිවිධාන පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට සිය අවංක අගය කිරීම පිරිනැමීය.

“සමුද්‍ර ආරක්ෂාවට හා සුරක්ෂිතභාවය සඳහා පවතින තර්ජන විකාශනය වන්නේ කෙසේද යන්න අපේක්ෂා කිරීම මත ඒවා වැළැක්වීමේ කටයුතු රඳා පැවතිය නොහැකිය. මෙම අභියෝගාත්මක කාලවල දී, ශක්තිමත් හවුල්කාරිත්වයන්, ඵලදායී සම්බන්ධීකරණය හා සැලසුම් කිරීම තුළින් සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා පවතින අවස්ථාව අප හඳුනාගත යුතුය. අද දින, මෙම දෙමුහුන් රැස්වීම තුළින්, වර්තමාන IORA-WGMSS වැඩ සැලැස්ම සමාලෝචනය කිරීමේ හා යාවත්කාලීන කිරීමේ ඉදිරි මාවත පිළිබඳ ඵලදායී සාකච්ඡාවල නිරතවීමට සහ අයෝරා හි සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ රාමුව තුළ සහයෝගීතාව ශක්තිමත් කරන විශිෂ්ට පරිචයන් බෙදාහදා ගැනීමට හැකි වෙතැයි මම අපේක්ෂා කරමි.” යයි ඔහු තවදුරටත් අවධාරණය කළේය.

කොවිඩ්-19 පිළිබඳ නිර්දේශයන්ට අනුකූලව පවත්වන ලද මෙම සමාරම්භක උත්සවයට දූත මණ්ඩල ප්‍රධානීන් සහ කොළඹ සිටින අයෝරා හි සාමාජික රටවල සහ සංවාද හවුල්කාර රටවල රාජ්‍යතාන්ත්‍රිකයින්, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ  (GMCP-UNODC) ප්‍රධානී සහ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය හා සම්බන්ධ වෙනත් පාර්ශ්වකරුවන්ගේ නියෝජිත ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය.

විදේශ අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති උරුගොඩවත්තේ දිසානායක මහත්මිය විසින් මෙම රැස්වීමේ මුලසුන හොබවන ලදී.

මෙම රැස්වීමට පෙර 2021 මාර්තු 17 වැනි දින, නියෝජිතයින් 20 දෙනෙකුගෙන් නියෝජනය වන IORA-WGMSS හි පොකුරු කණ්ඩායම් සාමාජික රටවල් 08 විසින් අදාළ න්‍යාය පත්‍රය හා ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවිධිමත් අතථ්‍ය රැස්වීමක් පවත්වන ලදී. මෙම පොකුරු කණ්ඩායම ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කෙන්යාව, මැඩගස්කරය, මොරිෂස්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලින් සමන්විත වේ.

සහභාගී වන සාමාජික රාජ්‍ය නියෝජිතයින් සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳව අභිප්‍රේරණය කිරීම සඳහා හඳුන්වාදීමේ සැසියක් පවත්වන ලදී. UNODC හි GMCP හි ප්‍රධානී ඇලන් කෝල් මහතා විසින් “ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට නැගී එන තර්ජන” සහ ස්ථාවර මුහුදු සංවිධානයේ ජේ බෙන්සන් මහතා විසින් “සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය: ස්ථාවර මුහුදු පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් අභියෝග සහ විසඳුම්” යන මාතෘකා යටතේ සිදුකරන ලද ඉදිරිපත් කිරීම් මෙම සැසිවාරයට ඇතුළත් විය. මෙම හඳුන්වාදීමේ සැසිය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජල විද්‍යාඥ රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න මහතා විසින් මෙහෙයවන ලදී.

සාමාජික රටවල් 23 න් රටවල් 15 ක් නියෝජනය කරමින් නියෝජිතයින් 44 දෙනෙකු අතථ්‍ය ලෙස මෙම සැසියට එක් වූ අතර, 2022 - 2026 කාල සීමාව සඳහා IORA-WGMSS හි අනුප්‍රාප්තික වැඩ සැලැස්ම පිළිබඳව සාකච්ඡා කළහ. ආකෘතිය, ක්‍රියාත්මක කිරීමේ වගකීම් සහ කොවිඩ්-19 වසංගතය මෙන්ම සාමාජික රටවල් විසින් යෝජනා කරන ලද නව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්, කලින් වැඩ සැලැස්මේ පැවති අඩුපාඩු සැලකිල්ලට ගනිමින් මෙම සාකච්ඡා පැවැත්විණ. 2022 සිට 2026 දක්වා වූ වැඩ සැලැස්ම වඩාත් නිශ්චිත ක්‍රියාකාරකම්වලින් යුතුව අවසන් කරන ලද අතර, ඉදිරියට යාමේ දී වඩාත් ප්‍රායෝගික යැයි සලකන ලද සෑම ක්‍රියාකාරකමක් සඳහාම තනි සාමාජික රටවල් සහ IORA මහලේකම් කාර්යාලය වගකීම භාර ගනු ඇත. 2019 - 2021 වැඩ සැලැස්මේ ඇතුළත්ව තිබී සම්පූර්ණ නොකළ ක්‍රියාකාරකම් ද ඊට ඇතුළත් විය.

විදේශ අමාත්‍යංශය
කොළඹ

2021 මාර්තු 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close