ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 25 ක සේවයක් ඉටු කළ බෙල්ජියමේ නිර්වේතනික කොන්සල්වරිය උපහාරයට පාත්‍ර වේ

ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 25 ක සේවයක් ඉටු කළ බෙල්ජියමේ නිර්වේතනික කොන්සල්වරිය උපහාරයට පාත්‍ර වේ

 බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරිය ලෙස වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ මොනික් ඩි ඩෙකර්-ඩප්‍රෙස් මහත්මියට උපහාර දැක්වීම සඳහා බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 නොවැම්බර් 22 වැනි දින උත්සවයක් සංවිධානය කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නිකුත් කළ ඇගයීමේ ලිපිය, මෙහිදී බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ග්‍රේස් ආසිර්වතම් මැතිනිය විසින් මොනික් ඩි ඩෙකර්-ඩප්‍රෙස් මහත්මිය වෙත පිළිගන්වන ලදී. 25 වසරක සේවාවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන්  නිර්වේතනික කොන්සල් මොනික් මහත්මියට සුබ පැතුම් එක් කළ තානාපති ආසිර්වතම් මැතිනිය, එතුමිය ඉදිරියේදී ද එවැනි සහයෝගයක් ලබා දෙනු අතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා ය.

නිර්වේතනික කොන්සල් මොනික් මහත්මිය, බෙල්ජියමේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සහය අවැසි  අවස්ථාවන්හිදී සිය සහය ලබා දෙන අතර, ශ්‍රී ලංකාවේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රසල්ස් හි තානාපති කාර්යාලය දරන ප්‍රයත්නවලට ද  සිය ස්ථිර සහය ලබා දෙයි. ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරිය වන මොනික් ඩි ඩෙකර්-ඩප්‍රෙස් මහත්මිය, මේ වන විට බෙල්ජියමේ නිර්වේතනික කොන්සල්වරුන් එකසිය විස්සක් නියෝජනය කරන කොන්සියුලර් සංගමයේ සභාපති ධූරය හොබවයි.

ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ලබා දුන් විශිෂ්ට දායකත්වය වෙනුවෙන් 2005 වසරේ දී මොනික් ඩි ඩෙකර්-ඩෙප්‍රෙස් මහත්මියට ශ්‍රී ලංකා රජය විසින් "ශ්‍රී ලංකා රංජන" යන ජාතික නාමය ලබා දෙන ලදී.

බෙල්ජියමේ හිටපු අගමැති සහ යුරෝපා සංගමයේ පළමු නිත්‍ය කවුන්සිල සභාපති හර්මන් වැන් රොම්පුයි මැතිතුමා, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මාර්ක් අයිස්කන්ස් මැතිතුමා, බෙල්ජියම් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති සෙනෙට් සභික ඇලෙසියා ක්ලේස් මැතිනිය, බෙල්ජියම් විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන ප්‍රධානියා, ඇන්ට්වර්ප් පළාතේ හමුදා ආඥාපතිවරයා, ලුතිනන් කර්නල් රූඩි රයික්බොෂ් මහතා, ඇන්ට්වර්ප් හි ව්‍යාපාරික මණ්ඩලවල නිලධාරීන්, නිර්වේතනික කොන්සල්වරු, සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ලේඛකයන් ඇතුළු  විවිධ ආරාධිතයින් රැසක් මෙම උපහාර උත්සවය සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2022 දෙසැම්බර් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close