ශ්‍රී ලංකාව සඳහා වන ගසියන්ටෙප් හි නිර්වේතනික කොන්සල්වරයා තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන ගසියන්ටෙප් හි නිර්වේතනික කොන්සල්වරයා තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන ගසියන්ටෙප් හි නිර්වේතනික කොන්සල් සුලෙයිමන් සිසෙක් මහතා මෑතක දී තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය හමුවිය.

ගසියන්ටෙප් යනු අග්නිදිග ඇනටෝලියානු කලාපයේ නවීන පළාත්වලින් එකක් වන අතර තුර්කියේ පිස්ටාෂියෝ ඇට වගා කරන මධ්‍යස්ථානය ද වේ. විශාල ඔලිව් වතු සහ මිදි වතු සහිත ගසියන්ටෙප් පළාත තුර්කියේ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානවලින් එකකි.

වත්මන් ව්‍යාපාරික ප්‍රවණතා පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීමටත් ගසියන්ටෙප් හි පවතින ශක්‍යතා ප්‍රායෝගික ලෙස ඇගයීමටත් මෙම සුහද සංචාරය මඟින් දෙපාර්ශ්වයටම අවස්ථාව සැලසිණි. ධාන්‍ය වර්ග, ඇට වර්ග සහ වියළි පළතුරු වෙළෙන්දෙකු වන ව්‍යාපාරික සාදික් කායා මහතා ද නිර්වේතනික කොන්සල්වරයා සමඟ මෙම අවස්ථාවට සහභාගි විය. ශ්‍රී ලංකාවෙන් ඇට වර්ග වියළි පලතුරු/එළවළු, කුළුබඩු සහ තේ ආනයනය කිරීමේ හැකියාව මෙන්ම ඖෂධීය ආලේපන, ඖෂධීය පෝෂණ අතිරේක සහ ආයුර්වේද ඖෂධ සහ ප්‍රතිකාර ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. චොක්ලට් නිෂ්පාදනය කිරීම සඳහා තුර්කි නිෂ්පාදන සමාගමකට මෙරට තුළ ආයෝජනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද තානාපතිනිය විසින් යෝජනාවක් ඉදිරිපත් කෙරිණි.

 තවද, ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා දෙරට අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුම් පිළිබඳව ද තානාපති දිසානායක මැතිනිය සාකච්ඡා කළා ය. ආයෝජන ප්‍රවර්ධනය සහ සුරක්ෂිත කිරීම, ද්විත්ත්ව බදුකරණය වැළැක්වීම යනාදී ගිවිසුම් සහ රේගු කරුණු ඊට ඇතුළත් විය.

සිංහ ලකුණ අවභාවිත කරන දේශීය තේ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් තමන් ගෙන ඇති පියවර පිළිබඳව පැහැදිලි කළ නිර්වේතනික කොන්සල් සිසෙක් මහතා, එම තත්ත්වය පිළිබඳව තමන් තවදුරටත් අධීක්ෂණය කරන බවට සහතික විය. එතුමාගේ කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිනිය සිය කෘතඥතාව පළ කළා ය.

සාකච්ඡා නිම කළ නිර්වේතනික කොන්සල්වරයා, ශ්‍රී ලංකාව සඳහා නව වෙළඳ අවස්ථා, සංචාරක සහ ආයෝජන අවස්ථා ලබා දීම සඳහා ගසියන්ටෙප් කලාපය තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවට සහතික විය.

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

 2023 ජනවාරි 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close