ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා පැවැත්වීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරාමන් මැතිනිය හමුවෙයි

ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා පැවැත්වීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරාමන් මැතිනිය හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2023 මාර්තු 22 වැනි දින නවදිල්ලි නුවර දී ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය ශ්‍රීමතී නිර්මලා සීතාරාමන් මැතිනිය හමුවිය.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ පවත්නා ආර්ථික සහයෝගීතාව සහ ආධාර ලබා දීම සම්බන්ධයෙන් 2021 නොවැම්බර් මස සිට අමාත්‍ය සීතාරාමන් මැතිනිය සමඟ පැවැත්වූ රැස්වීම් මාලාවේ නවතම රැස්වීම වන්නේ මෙය යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා ලබා දුන් විස්තීරණ ණය පහසුකම (EFF) ලබාගැනීම සඳහා ඉන්දීය රජය ලබා දුන් නායකත්වය සම්බන්ධයෙන් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ආරම්භයේදී ම අමාත්‍ය සීතාරාමන් මැතිනිය වෙත සිය ස්තුතිය පුද කළේ ය. මෙම පසුබිම තුළ ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බහුපාර්ශ්වික මූල්‍ය නියෝජිතායතන සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පෞද්ගලිකව මැදිහත්වීම පිළිබඳව ද එතුමා අමාත්‍ය සීතාරාමන් මැතිනියට විශේෂයෙන් ස්තූති කළේ ය.

අමාත්‍ය සීතාරාමන් මැතිනිය සහ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවයේ ඉදිරි ගමන්මග පිළිබඳව ද සාකච්ඡා කළහ. තවද, ශ්‍රී ලංකාව වෙත ඉන්දීය ආයෝජන ආකර්ෂණය කරගැනීම, විශේෂයෙන්ම ඉන්දීය රුපියලේ වෙළඳ ව්‍යාප්තිය තුළින් ද්වීපාර්ශ්වික වෙළඳාම වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පවතින ක්‍රම සහ විධි ගවේෂණය කර ඒ පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී. මෙම පියවර ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා යම් දායකත්වයක් ලැබෙනු ඇතැයි අමාත්‍යවරිය සහ මහ කොමසාරිස්වරයා සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පියකු වූ දිවංගත ජෙෆ්රි බාවා මහතාගේ නිර්මාණ ඇතුළත් “Geoffrey Bawa; Drawing from the Archives” නමැති ග්‍රන්ථයේ පිටපතක් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා විසින් අමාත්‍ය සීතාරාමන් මැතිනිය වෙත පිළිගන්වන ලදී. 2023 මාර්තු 17 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා විසින් නවදිල්ලියේ නැෂනල් ගැලරි ඔෆ් මොඩර්න් ආර්ට් හි දී  විවෘත කරන ලද “Geoffrey Bawa: It Is Essential To Be There” නමැති ප්‍රදර්ශනය සනිටුහන් කිරීම සඳහා මෙම ප්‍රකාශනය එතුමිය වෙත සිහිවටනයක් ලෙස පිළිගන්වන ලදී. මෙම ප්‍රදර්ශනය මාස දෙකක් මුළුල්ලේ පැවැත්වේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2023 මාර්තු 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close