තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය තුර්කියේ  විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය තුර්කියේ  විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය 2023 මාර්තු 21 වැනි දින තුර්කියේ විදේශ කටයුතු අමාත්‍ය මෙව්ලුට් කවුෂෝලු මැතිතුමා හමුවිය.

භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට සහය වීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් පිරිනැමූ පරිත්‍යාගය මෙන්ම, භූ කම්පනයෙන් අනතුරුව තුර්කියට සහය වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව දැරූ ප්‍රයත්න අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

මෑතක දී නවදිල්ලි නුවර දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සමඟ තමන් අන්තර්ක්‍රියා පැවැත්වූ බවද අමාත්‍ය කවුෂෝලු මැතිතුමා මෙහිදී සිහිපත් කළේ ය.

2023 වසරේ දී තුර්කිය සිය 100 වැනි ජනරජ සංවත්සරය සමරන අතර, ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන බැවින් මෙම වසර ඉතා සුවිශේෂී වසරක් වන බවද තානාපති දිසානායක මැතිනිය සඳහන් කළා ය. තවද, ශ්‍රී ලංකාව සහ තුර්කිය, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර  75 ක් සපිරීමේ සංවත්සරය සමරනු ඇත. භූ කම්පනය හේතුවෙන් ඇතැම් වැඩසටහන් වසරේ අවසාන භාගයට කල් දමා ඇති බවද එතුමිය මෙහිදී සිහිපත් කළා ය.

කල් දමා ඇති අන්තල්යා රාජ්‍යතාන්ත්‍රික සංසදයේ වැදගත්කම සහ අපේක්ෂිත ද්විපාර්ශ්වික ගිවිසුම් අවසන් කිරීමේ ක්‍රියාදාමයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පැවැත්විණි. මීට දිනකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද විස්තීරණ ණය පහසුකම (EFF) පිළිබඳව ද තානාපතිනිය අමාත්‍යවරයා දැනුම්වත් කළා ය.

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2023 මාර්තු 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close