මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා G20 මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට පෙර ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා G20 මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට පෙර ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි

 

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2023 පෙබරවාරි 14 වැනි දින, නවදිල්ලි නුවර පිහිටි මුදල් අමාත්‍යංශයේ දී, ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය ශ්‍රීමතී නිර්මලා සීතාරාමන් මැතිනිය හමුවිය. එතුමා 2021 වසරේ නොවැම්බර් මස සිට එතුමිය සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ නවතම සාකච්ඡාව වන්නේ මෙය යි.

2023 පෙබරවාරි 24-25 යන දිනවල අමාත්‍ය සීතාරාමන් මැතිනියගේ ප්‍රධානත්වයෙන් බැංගලෝර්හි දී පැවැත්වීමට නියමිත G20 මුදල් අමාත්‍යවරුන්ගේ පළමු රැස්වීමට පෙර ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අතර මෙම හමුව පවත්වන ලදී.

සාකච්ඡාව අතරතුර සිය අදහස් පළ කළ  මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති විශිෂ්ට කඩිනම් ආධාර සහ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව විසින්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත කාලෝචිත ලෙස මූල්‍ය සහතිකයක් ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය සීතාරාමන් මැතිනිය වෙත සිය ස්තූතිය පුද කළේ ය.

වත්මන් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන මෙම අවධියේ දී ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබඳව සහ විශේෂයෙන් දෙරට අතර රුපියල පදනම් කරගත්  වෙළඳාම පහසු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සහ අනුමත කිරීම් වෙනුවෙන් ද මහ කොමසාරිස්වරයා ඉන්දියාවට සහ අමාත්‍ය සීතාරාමන් මැතිනිය වෙත සිය ස්තූතිය පුද කළේ ය. ශ්‍රී ලංකාව තුළ හිඟයක්ව පවතින අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දීය ණය පහසුකමට අදාළ වන සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රම සහ විධි පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා සහ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා විසින් අමාත්‍ය සීතාරාමන් මැතිනිය හමුවේ කරුණු දක්වන ලදී. වත්මන් ආර්ථික සංකෝචනය ශ්‍රී ලංකාවේ ජනගහනය මත එල්ල කරන දැඩි බලපෑම පිළිබඳව අමාත්‍යවරිය දැනුම්වත් කළ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාවේ ගැටළු සඳහා G20 සංසදය ද ඇතුළුව ජාත්‍යන්තර සහය ලබා ගැනීම සම්බන්ධයෙන් එතුමිය  දරන උත්සාහය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේ ය.

 ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2023 පෙබරවාරි 15 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close