චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය සමරයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය සමරයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 75 වැනි නිදහස් දිනය සනිටුහන් කරමින්, චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් 2023 පෙබරවාරි 10 වැනි දින අයිටීසී ග්‍රෑන්ඩ් චෝල (ITC Grand Chola) හෝටලයේ රජින්ද්‍ර ශාලාවේ දී උත්සවයක් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ. එම් අලි සබ්රි මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගි විය. තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ මයිලඩුතුරෙයි ආසනයේ එස්.රාජකුමාර් මැතිතුමා ගෞරවනීය ආරාධිතයා ලෙස ඊට සහභාගි විය. ශ්‍රී ලංකාව සහ එහි ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් සහ ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව අතර පවතින විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා වෙනුවෙන් සුබ පැතූ ඔවුහු දෙපළ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා සමඟ සිය අදහස් පළ කළහ.

චෙන්නායි හි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන්, දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් සහ ශ්‍රී ලංකාව සඳහා සුබ පතන්නන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම මෙන්ම දකුණු ඉන්දියාවේ සෘජු විදේශ ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම උත්සවයේ දී ප්‍රමුඛත්වය යොමු විය. තෝරාගත් ශ්‍රී ලාංකික නිෂ්පාදන ඇතුළත් ත්‍යාගයක් සහ සංචාරක ව්‍යාපාරය සහ ලංකා තේ ප්‍රවර්ධනය කෙරෙන තොරතුරු සහභාගිවන්නන් අතර බෙදා හරින ලදී. ශ්‍රී ලාංකික රාත්‍රී භෝජන සංග්‍රහයකින් අනතුරුව මෙම උත්සවය අවසන් කෙරිණි.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2023 පෙබරවාරි 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close