සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් මුහුණු ආවරණ මිලියනයක් පරිත්‍යාග කිරීමේ උත්සවය

සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් මුහුණු ආවරණ මිලියනයක් පරිත්‍යාග කිරීමේ උත්සවය

සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා ලිවිංගාර්ඩ් මුහුණු ආවරණ මිලියනයක් පරිත්‍යාග කිරීමේ උත්සවය 2020 ඔක්තෝබර් 07 වැනි දින විදේශ අමාත්‍යාංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සහ සිංගප්පූරු රජය නියෝජනය කරමින් සිංගප්පූරුවේ නිර්වේතනික කොන්සල් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

රාජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් දැක්වීමේ දී මෙම වටිනා පරිත්‍යාගය තුළින් කාලෝචිත ලෙස පිළිබිඹු කෙරෙන හොඳහිත පිළිබඳව ටෙමාසෙක් පදනම සහ සිංගප්පූරු රජය වෙත සිය අවංක ප්‍රසාදය පළ කළේය. සිංගප්පූරු රජය වෙනුවෙන්, ආචාර්ය ධර්මදාස මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මාස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ටෙමාසෙක් පදනම එක්ව මෙම පරිත්‍යාගය ලබා දෙන ලද්දේ ආරම්භක පියවරක් ලෙස බවත්, ශ්‍රී ලංකාවට තවදුරටත් ආධාර ලබා දීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතින බවත්ය.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සිය අදහස් දැක්වීමේ දී ප්‍රකාශ කළේ මෙම සහයෝගීතාවය පිළිබඳ සංකේතය කොවිඩ්-19 ට එරෙහි සටනේ දී අපේ දෙරට අතර පවතින හෘදයංගම මිත්‍රත්වය පිළිබඳ විචිත්‍ර නිරූපණයක් පවයි. මෙම කාලෝචිත හොඳහිත පළකිරීම නිසා දෙරට අතර ජනතාව අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර, වසර 50 ක් පුරා පැවති අපගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර ටෙමාසෙක් පදනම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, සංස්කෘතිය, ප්‍රජා ගොඩනැඟීමේ කටයුතු යනාදිය සඳහා සහාය වන සිංගප්පූරු රාජ්‍ය ස්වෛරී අරමුදලෙහි පරාර්ථකාමී හස්තය යටතේ පවතින, සිංගප්පූරුව පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයකි.

ලිවින්ගාර්ඩ් තාක්‍ෂණය භාවිතා කරන ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයින්ගෙන් එකක් වන මාස් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් මෙම ලිවිංගාර්ඩ් මුහුණු ආවරණ නිෂ්පාදනය කර තිබේ. මෙම ලිවිංගාර්ඩ් තාක්‍ෂණයට ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන රෙදිපිළි ඇතුළත් වන අතර, ඊට ශ්වසන වායුවෙහි පවතින විවිධ විෂබීජ කාර්යක්ෂම ලෙස විනාශ කිරීමට හැකියාව ඇත. මෙම නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රලාභී ලිවින්ගාර්ඩ් ප්‍රතිවෛරස තාක්‍ෂණය භාවිත කර ඇති අතර, එය විෂ රහිත හා නැවත භාවිතා කළ හැකි බවට සහතික කර ඇත.

 

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 ඔක්තෝබර් 7 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close