විදේශ ලේකම් ආර්යසිංහ මහතා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය හමුවෙයි

විදේශ ලේකම් ආර්යසිංහ මහතා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය හමුවෙයි

එළඹෙන සඳුදින (පෙබරවාරි 24 වැනි දින) ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 43 වැනි සැසිවාරයට පෙර, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව, මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි තානාපති එලිසබෙත් ටිචි-ෆිස්ල්බර්ගර් මැතිනිය දැනුවත් කළේය.

මේ වන විට ජිනීවාහි සිටින විදේශ ලේකම්වරයා, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රය අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය බදාදා දින අනුමත කර ඇති බව සිකුරාදා (පෙබරවාරි 21 වැනි දින) සභාපතිතුමිය වෙත දන්වා සිටියේය. මෙම තීරණය බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබුණි. අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙන බවත්, පෙබරවාරි 26 වැනි බදාදා කවුන්සිලයේ ඉහළ මට්ටමේ අංගය ඇමතීමේදී රජයේ තීරණය පිළිබඳව විධිමත් ලෙස කවුන්සිලයේ සාමාජිකයන්ට දැනුම් දෙන බවත් ඔහු ඇයට දැනුම් දුන්නේය. පෙබරවාරි 27 වැනි දින මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීම්වලට අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විසින් ප්‍රතිචාර දක්වනු ලබන අතර, ජිනීවාහි රැඳී සිටින කාලය තුළ දී මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මැතිනිය හමුවීමට ද නියමිතය.

කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹුණු දිනට ආසන්න දිනක දී, යෝජනාව ගෙන ආ ‘මූලික කණ්ඩායමේ’ (එක්සත් රාජධානිය, ජර්මනිය සහ කැනඩාව) කොළඹ සිටින තානාපතිවරුන් ද අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විසින් දැනුවත් කරන ලද බව විදේශ ලේකම්වරයා විසින් ඇයට දැනුම් දෙන ලදී.

මෙම කරුණ පිළිබඳව ඇයව දැනුවත් කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර තානාපති ටිචි-ෆිස්ල්බර්ගර් මැතිනිය අගය කළාය.

ශ්‍රී ලංකාවේ නිත්‍ය  දූත මණ්ඩලය
ජිනීවා
2020 පෙබරවාරි 21 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close