විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා සහ කොළඹ සිටින යුරෝපා සංගම් තානාපතිවරු යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික කටයුතු තවදුරටත් වැඩිදියුණු කළ හැකි විධික්‍රම පිළිබඳව සාකච්ඡා පවත්වති

විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා සහ කොළඹ සිටින යුරෝපා සංගම් තානාපතිවරු යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික කටයුතු තවදුරටත් වැඩිදියුණු කළ හැකි විධික්‍රම පිළිබඳව සාකච්ඡා පවත්වති

ඉතාලිය, නෙදර්ලන්තය යන රටවල යුරෝපා සංගම් තානාපතිවරුන් සහ රොමේනියාව, ජර්මනිය හා ප්‍රංශය යන රටවල තානාපති කාර්යාලවල අතරතුර තානාපතිවරුන් සමඟ එක්ව කොළඹ සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති ඩෙනිස් චයිබි මහතා,2020 සැප්තැම්බර් 02 වන දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බැහැ දුටුවේය.

නැවත වරක් විදේශ අමාත්‍යවරයා වශයෙන් පත්කරනු ලැබීම පිළිබඳව විදේශ අමාත්‍යවරයාට සුබපැතුම් පිරිනැමූ  මෙම තානාපතිවරු අඛණ්ඩ සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීම සඳහා ඔවුන් තුළ ඇති කැමැත්ත ප්‍රකාශ කළහ. යුරෝපය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ගමනාන්තය බවත් විදේශ සෘජු ආයෝජන හා සංචාර කටයුතු සඳහා ප්‍රධාන මූලාශ්‍රය වන බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණ.  කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව විශිෂ්ට ආකාරයෙන් කටයුතු කර තිබෙන බවද ගුවන් තොටුපොළවල් විවෘත කිරීමෙන් අනතුරුව යුරෝපා සංචාරකයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයිද මොවුහු සඳහන් කළහ.

ශ්‍රී ලංකාවට ලබාදෙන යුරෝපා සංගම් සංවර්ධන සහාය පිළිබඳව ද මෙම තානාපතිවරු සාකච්ඡා කළ අතර මෙම රජයේ ආර්ථික සංවර්ධන ප්‍රමුඛතාවලට සහාය දැක්වීමට කැමැත්ත පළ කළහ. අනෙකුත් ව්‍යාපෘති අතර කෘෂිකර්මය, වෘත්තීය පුහුණුව, ආහාර සුරක්ෂිතභාවය යන අංශවල යුරෝපා සංගම් ආධාර යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව විදේශ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.

නව රජය තෝරාපත් කරගැනීමෙන් අනතුරුව යෝජිත සංශෝධන සහ ඇති වී ඇති මෑත කාලීන දේශපාලන ප්‍රවණතා පිළිබඳවද ඔවුහු සාකච්ඡා පැවැත්වූහ.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ අමාත්‍යංශය
කොළඹ

2020 සැප්තැම්බර් 04 වන දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close