කලාපීය සමෘද්ධිය පිණිස “නව සාමාන්‍යය තත්ත්වය” වැලඳ ගන්නා ලෙස ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සාමාජික රටවලින් ඉල්ලා සිටී

කලාපීය සමෘද්ධිය පිණිස “නව සාමාන්‍යය තත්ත්වය” වැලඳ ගන්නා ලෙස ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සාමාජික රටවලින් ඉල්ලා සිටී

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය කොළඹගේ මහතා “නව සාමාන්‍යය තත්ත්වය හා ඉක්මනින් අනුවර්තනය වීම” වැළඳගන්නා ලෙස 2020 සැප්තැම්බර් 2 වන දින කොළඹදී පැවති බහුආංශික තාක‍්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ 21 වැනි සැසිවාරයේ පළමු අතථ්‍ය (virtual) හමුවේ මුලසුන හොබවමින් එහි සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.

කොවිඩ්-19 වසංගතයෙන් පසුව සිදුවන ගෝලීය වෙනස්වීම්, පෙර පැවති පරිදිම නොවන බව සිය සමාරම්භක දේශනයේ දී විදේශ ලේකම්වරයා පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පෙන්වා දුන් පරිදි, එය සෞඛ්‍ය අර්බුදයක සිට ආර්ථික හා මානව අර්බුදයක් දක්වා පරිනාමය වී ඇති බැවින් එය සියලුම රාජ්‍යයන් කෙරෙහි විවිධ මට්ටම්වලින් බලපා තිබේ. ඇත්ත වශයෙන්ම, ගෝලීය හා කලාපීය වටිනාකම් දාමයන් බිඳවැටීමත් සමඟ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමත්, මිලියන ගණනක් ජනතාවගේ රැකියා අහිමිවීම නිසා බොහෝ දෙනෙක් දරිද්‍රතාවය කරා තල්ලු වීමත් හේතුවෙන් බිම්ස්ටෙක් සාමාජික රටවල දෛනික ජීවිතයට මෙම අර්බුදය බලපා ඇති බව ප්‍රකාශ කළ ලේකම්වරයා, 2020 ජුනි මාසයේ පැවති බිම්ස්ටෙක් දිනය පිළිබඳ 23 වැනි සංවත්සරයේ දී කොවිඩ්-19 හි අහිතකර බලපෑම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් බිම්ස්ටෙක් රාජ්‍ය නායකයින් විසින් කරන ලද සහතික කිරීම් මත පදනම්ව ගොඩනැඟීම සඳහා අවස්ථාවක් සලසා දෙන බැවින්, මෙම රැස්වීම කාලෝචිත වන බව ද පැවසීය. පශ්චාත් කොවිඩ්-19 සුවපත් වීමේ හා පුනරුත්ථාපන ක්‍රියාවලියේ දී කලාපීය සහයෝගීතාව ඉහළ නැංවිය හැකි වඩාත් හොඳ සහ වඩාත් ඔරොත්තු දෙන සංවිධානයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය නායකයින් විසින් යළි යළිත් පිළිගෙන ඇති අතර, ඔවුන්ගේ පණිවිඩ පැහැදිලි සහ දිරිගන්වන සුළු බව ඔහු පැවසීය.

ලෝක ජනගහනයෙන් 23% ක් මෙම කලාපය තුළ වාසය කරන බැවින්, අවදානමට ලක්විය හැකි කොටස් කෙරෙහි බලපාන විනාශකාරී බලපෑම් මඟින් ආර්ථිකයන් අඩපණ කළ හැකි බවත්, කලක් සාමාජික රටවල සංචලතාව ඉහළ දැමීම සඳහා භාවිත කළ සම්පත් වෙනතකට හැරී යා හැකි බවත් විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේය. මෙම ගෝලීය වසංගතය පැමිණීමට පෙර මිණුම් දණ්ඩක් ලෙස පැවති එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 3 ක සාමූහික දළ දේශීය නිෂ්පාදිතය, මෙම ව්‍යසනය හමුවේ අත් කරගත නොහැකි ඉලක්කයක් බවට පත් නොවිය යුතු බවත්, එම ඉලක්කය ඉක්මවා යා යුතු බවත් ඔහු පැවසීය. එබැවින්, අංශ විසින් මෙහෙයවනු ලබන මෙම සංවිධානය සාමූහිකව, වෙළඳ හා ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, බලශක්ති සහයෝගිතාවය ශක්තිමත් කිරීම, සම්බන්ධකතාවය සහ ජනතාව අතර සම්බන්ධතා ඉහළ නැංවීම, ආපදා කළමනාකරණය සහ මහජන සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීම, ත්‍රස්තවාදයට හා අන්තවාදයට එරෙහිව සටන් කිරීම, දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් පිළිබඳව කටයුතු කිරීම‍ සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා කටයුතු කිරීම කළ යුතු බව ඔහු සඳහන් කළේය.

පශ්චාත් කොවිඩ්-19 බලපෑම් සඳහා දෛනික ජීවිතයේ තාක්‍ෂණික මෙවලම් භාවිතය ඉහළ නැංවීමට මෙන්ම, අන්තර්ජාලය පදනම් කරගත් ආර්ථික ක්‍රියාකාරකම්වල ඉල්ලුම පිරිමසන යෝජනා ඉදිරිපත් කරන බව, බිම්ස්ටෙක් හි තොරතුරු, තාක්ෂණ හා නවෝත්පාදන අංශයේ ප්‍රමුඛ රට ලෙස ශ්‍රී ලංකාව දන්වා සිටි අතර, කොළඹ පිහිටුවීමට යෝජිත බිම්ස්ටෙක් තාක්‍ෂණික හුවමාරු පහසුකම මඟින් ශ්‍රී ලංකාව විසින් මෙම ක්ෂේත්‍රයේ සිදු කිරීමට යෝජනා කරන කාර්යයන් තවදුරටත් වැඩිදියුණු කරනු ඇත.

21 වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමට පෙර විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්/ආර්ථික කටයුතු, තානාපති පී. එම්. අම්සා මහතාගේ ප්‍රධානත්වයෙන් බිම්ස්ටෙක් නිත්‍ය ක්‍රියාකාරී කමිටුවේ  සිව්වැනි සැසිය පවත්වන ලදී.

සංවිධානයේ පරිපාලන ක්‍රියා පටිපාටි හා මූල්‍යමය කරුණු සහ 17 වන අමාත්‍ය රැස්වීමේ දී අනුමැතිය ලබා ගැනීම සහ 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේ දී සම්මත කර ගැනීම සඳහා ලේඛන සකස් කිරීම හා ඒවායෙහි කටයුතු අවසන් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවල දී අවධානය යොමු කරන ලදී.

ශ්‍රී ලංකාව, රජය විසින් ගෙන ඇති පුළුල් සෞඛ්‍ය හා ආරක්ෂක පියවරයන් අගයමින් ලෝක චාරිකා හා සංචාරක කවුන්සිලයෙන් පිරිනැමෙන ‘ආරක්ෂිත සංචාරක’ මුද්‍රාවක් දිනාගෙන සිටින බැවින්, 17 වැනි අමාත්‍ය රැස්වීමට පෙරාතුව පැවැත්වෙන 5 වැනි බිම්ස්ටෙක් සමුළුවට සත්කාරකත්වය දැක්වීම සඳහා තමන් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම දන්වා සිටියේය. සාමාජික රටවල් කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම පිළිබඳ විවිධ අදියරවල සිටින බැවින්, සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර රැස්වීමේ දිනයන් තීරණය කළ යුතුව පවතී.

මහලේකම්වරයා ලෙස සිය වසර තුනක ධුර කාලය 2020 සැප්තැම්බර් මස අග භාගයේ දී අවසන් වන තානාපති ෂාහිදුල් ඉස්ලාම් මහතාගේ සේවය සාමාජික රටවල පැසසුමට ලක් විය. සභාපතිත්වය තුළ දී ඔහුගෙන් ලද දායකත්වය හා සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාව විශේෂයෙන් සඳහන් කළේය. බිම්ස්ටෙක් හි මීළඟ මහලේකම්වරයා ලෙස ටෙන්සින් ලෙක්ෆෙල් මහතා භූතානය මඟින් නම් කිරීම සාමාජික රටවල් විසින් සැලකිල්ලට ගන්නා ලදී.

සාමාජික ශ්‍රී ලංකාව විසින් යෝජනා කළ පරිදි, සාමාජික රාජ්‍යයන් විසින් ඉන්දියාවේ හිටපු ජනාධිපති අතිගරු ප්‍රනාබ් මුකර්ජි මැතිතුමන්ගේ අභාවය වෙනුවෙන් දක්වමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කරන ලදී.

විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්ථික කටයුතු (බහුපාර්ශ්වීය) අන්සුල් ජාන්, නියෝජ්‍ය නීති උපදේශිකා තිලානි සිල්වා සහ විධායක සහකාර කලනි ධර්මසේන යන මහත්ම මහත්මීන්ගෙන් ශ්‍රී ලංකා දූත පිරිස සමන්විත විය.

 

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 සැප්තැම්බර් 3 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close