විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා කොළඹ දී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වති.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා කොළඹ දී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වති.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙහි පැමිණ සිටින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා අද උදෑසන (2020 ඔක්තෝබර් 28) විදේශ අමාත්‍යාංශයේදී, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවත්නා බහු අංශික සබඳතා ක්ෂේත්‍ර කිහිපයක් පිළිබදව සාකච්ඡා පැවැත්වූහ. මෙම සාකච්ඡාවලට පෙරාතුව, රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වීය.

නියෝජිත කණ්ඩායම් මට්ටමින් පැවති නිල සාකච්ඡාවලදී, අප දෙරට අතර සබඳතාවලදී මධ්‍යස්ථව කටයුතු කළ ආර්ථික, දේශපාලන,  රාජ්‍ය ආරක්ෂක හා ආරක්ෂක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කරගත් අතර දැනට පවත්නා සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවර ගැනීමට එකඟ වූහ. දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වාර්ෂික හවුල්කාරිත්ව සංවාදය අන්‍යෝන්‍ය වශයෙන් පහසු දින වකවානුවකදී කැඳවීමට එකඟ වූහ. තවද, වෙළඳ හා ආයෝජන රාමුගත ගිවිසුම (TIFA) සහ එක්සත් ජනපද ජි.එස්.පී පහසුකම යලි පණගැන්වීමට අමතරව ආර්ථිකයට හා සංවර්ධනයට අදාළ වැඩපිළි‌වෙලවල් කිහිපයක ප්‍රගතිය අත්කර ගැනීමේ පියවර ගැනීමට නියමිතය. කොවිඩ්-19 සම්බන්ධයෙන්ද දැනට පවත්නා සහ පශ්චාත් අභියෝගවලට විසඳුම් ලබාදීම සඳහා හවුල්කාරිත්වයෙන් යුතුව කටයුතු කිරීමට ඔවුහු එකඟ වූහ. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත්හ.

සංහිදියාව ශක්තිමත් කිරීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම මෙන්ම රටේ ආර්ථික අභියෝගවලට හා ජාතික ආරක්ෂාවට විසඳුම් ලබා දීමට අදාළව ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව රාජ්‍ය ලේකම්වරයාට විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කළේය.

රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා, සුසාන් පොම්පියෝ මහත්මියද සමඟ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ගොස් තම ශ්‍රී ලංකා සංචාරය නිමාව සනිටුහන් කළේය. 2019 අප්‍රියෙල් මස පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් ඔවුහු එහිදී මල් වඩමක් තැන්පත් කළහ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාගේ ධූර කාලය තුළදී, ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම මට්ටමේ එක්සත් ජනපද සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වෙයි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා, තවත් ආසියානු රටවල් තුනක් ආවරණය කරමින් නිරත වූ සංචාරයක එක් කොටසක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

 

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 ඔක්තෝබර් 28

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close