COVID-19 කොරෝනා වෛරස වසංගතය වැළැක්වීමේ පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට දැනුම් දෙයි

COVID-19 කොරෝනා වෛරස වසංගතය වැළැක්වීමේ පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට දැනුම් දෙයි

_MG_0149

COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය සහ එය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගැනීමට අපේක්ෂා කරන පියවර පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට විස්තර කළේය. මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ප්‍රමාණවත් වැළැක්වීමේ පියවර රජය විසින් ගෙන ඇති බව විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මාධ්‍යයේ කාර්යභාරය අගය කළ එතුමා, වෛරසයෙන් එල්ලවන අන්තරායන් පිළිබඳව සැලකිලිමත් වන අතරම, නිවැරදි තොරතුරු සාමාන්‍ය ජනතාව වෙත බෙදා හැරීමේ දී ඔවුන් අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ලෙස ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිතවරිය, සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපල බලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් ඇතුළත් විය.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සිය දේශනය ආරම්භ කරමින්, ශ්‍රී ලංකාවේ පවතින සූදානම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සාර්ථක ලෙස වූහාන් නගරයෙන් ඉවත් කර ගැනීම පිළිබඳව දැනුම් දුන්නේය. මේ සඳහා චීන රජයෙන් ලද සහයෝගය ලේකම්වරයා අගය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පැහැදිලිවම ප්‍රකාශ කරන ලද පරිදි, මෙම වෛරසය පිළිබඳ පදනම් විරහිත බිය නිසා කිසිදු විදේශීය ජාතිකයෙකුට වෙනස්කම් කිරීමට ඉඩ නොදෙන බව ඔහු කියා සිටියේය. අතරින් පතර සිදුවූයේ යයි කියනු ලබන එවැනි වෙනස්කොට සැළකීමේ සිදුවීම් කිහිපයක් මඟින් රටේ සාමාන්‍ය තත්ත්වය පිළිබිඹු නොකරන බව ද විදේශ ලේකම් ආර්යසිංහ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ COVID-19 වෛරසය පිළිබඳ තර්ජනය ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා මට්ටමකට පැමිණ ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දේශීය සෞඛ්‍ය පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ප්‍රබල සැලැස්මක් දියත් කර ඇති බවත්ය. මෙහි ආරම්භක පියවරක් ලෙස, දිවයින පුරා නම් කරන ලද රෝහල් 17 ක්, එළඹිය හැකි COVID-19 වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා හොඳින් සූදානම් කොට තිබේ. තත්වය වෙනස්වන සුළු බැවින් COVID-19 තත්ත්වය පිළිබඳ අර්ථ දැක්වීම ද යලි නිර්වචනය කොට ඇති අතර, අද වන විට ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවලින් පැමිණෙන මගීන් වෛරසයේ වාහකයන් වියහැකි ලෙස සළකනු ලබන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. පූර්වාරක්‍ෂක පියවරක් ලෙස, ඉහත රටවල් තුනේ සිට හෝ එම රටවල් හරහා පැමිණෙන මඟීන් නිරෝධායනය කිරීමට රජය තීරණය කොට ඇත. එසේ නිරෝධායනය කිරීමේ තීරණයට එළඹී තිබුණද, දැනට එම නිරෝධායන පහසුකම් ඉදිකිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බැවින්, එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දිනය මෙතෙක් තීරණය කොට නොමැති බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

ලොවපුරා රටවල පවතින තත්ත්වයෙහි බරපතලකම අවධාරණය කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ මහත්මිය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි COVID-19 වෛරසය පැතිර යාමේ තත්ත්වයක් පාලනය කිරීම සඳහා, රජයේ සහ සමාජයේ ඒකාබද්ධ ප්‍රවේශයක් මේ මොහොතේ දී අවශ්‍යව ඇති බවයි. ඕනෑම අහිතකර තත්වයක් ආපසු හැරවීම සඳහා අන්තර් නියෝජිතායතන සහයෝගීතා ප්‍රවේශයක් ද මෙම අවස්ථාවේ දී ඉතා වැදගත් වන බව ද ඇය පැවසුවාය. මෙතෙක් පැවති, අභියෝග විසඳීම සඳහා අත්‍යාවශ්‍ය වන දේශපාලන අභිමතාර්ථය සහ බහු-ආංශික සහයෝගීතාවය සහ එකමුතුකම පැහැදිලිව දැකගත හැකි බව වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය පැවසුවාය. විදේශ සබඳතා, සෞඛ්‍ය, ආරක්ෂක සහ ආගමන හා විගමන බලධාරීන් ඉටුකරන කාර්යභාරය පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කථා කළ නියෝජිතවරිය, සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම, සුපරීක්‍ෂණය පුළුල් කිරීම සහ සූදානම ශක්තිමත් කිරීම, මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමට බාධා කිරීම සඳහා වැදගත් අංගයන් වන බව ප්‍රකාශ කළාය.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 මාර්තු 6 වැනි දින
IMG_7499
Print Friendly, PDF & Email
Please follow and like us:

Close