රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා දත්ත පදනම් කර ගත් පර්යේෂණවල අවශ්‍යතාවය  ‘LKI විදේශ ප්‍රතිපත්ති සංසදය’ දියත් කිරීමේ අවස්ථාවේ දී  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අවධාරණය කරයි

 රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා දත්ත පදනම් කර ගත් පර්යේෂණවල අවශ්‍යතාවය  ‘LKI විදේශ ප්‍රතිපත්ති සංසදය’ දියත් කිරීමේ අවස්ථාවේ දී  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අවධාරණය කරයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා විසින් රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා දත්ත පදනම් කරගත් පර්යේෂණවල වැදගත්කම අවධාරණය කළ අතර, විශේෂයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් එවැනි පිළිවෙතක් අනුගමනය කළේ නම්, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදය වළක්වා ගැනීමට ඉඩ තිබූ බව සඳහන් කරන ලදී.  නිවැරැදි තීරණ ගැනීම පිණිස පර්යේෂණ පැවැත්වීම, ලිපි ලේඛන ඉදිරිපත් කිරීම, විවෘත හා සංවෘත ප්‍රවේශයන් තුළ විවාද කිරීම වැදගත් බව අමාත්‍යවරයා පවසන ලදී.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2023 අගෝස්තු 9 වන දින LKI Lighthouse ශ්‍රවණාගාරයේ පැවති ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන ආයතනයේ 'LKI විදේශ ප්‍රතිපත්ති සංසදය' එළිදැක්වීමේ සමාරම්භක දේශනය පවත්වමිනි. 2023 අගෝස්තු 12 වන දිනට යෙදී ඇති දිවංගත ගරු ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමාගේ 18 වැනි ගුණ සමරුවට සමගාමී ව මෙම දියත් කිරීම සිදු විය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, වැඩබලන විදේශ ලේකම් යූ.එල්.එම්.ජවුහාර් මැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, ව්‍යාපාරිකයන්, සිවිල් සමාජය, මාධ්‍යවේදීන් මෙන් ම සිසුන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

දිවංගත විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර්  මැතිතුමා විසින් LKI ආයතනය 2000 වර්ෂයේ දී  ශ්‍රී ලංකා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය ලෙස  ආරම්භ කරන ලද බව සඳහන් කරමින් අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ප්‍රකාශ කළේ  දිවංගත අමාත්‍යවරයාගේ ඝාතනයෙන් පසු 2006 වසරේ දී එතුමා රටට කළ සේවයට ගෞරව දැක්වීම සඳහා එම ආයතනය නැවත නම් කරන ලද බවයි. ආයතනය හරහා ලක්ෂ්මන් කදිර්ගාමර්  මැතිතුමාගේ උරුමය ජීවමාන ව පවතින  බවත්, එතුමාව සිහිපත් කිරීමේ දී එක ලෙස උත්සාහයෙන්, උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීම වැදගත් බවත් ඔහු පැවසීය. සිදු  කරන පර්යේෂණවල නිරවද්‍යතාවය, ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීම සහතික කිරීමේදී, LKI හි වැදගත්කම අමාත්‍යවරයා විසින්  අවධාරණය කරන ලද අතර, එහි විශ්වසනීයත්වය පවත්වා ගැනීම පිණිස ස්වාධීන පර්යේෂණවල නියැලීම සඳහා LKI සතු මෙම වරප්‍රසාදය අත්‍යවශ්‍ය බව සඳහන් කළේය. ‘LKI විදේශ ප්‍රතිපත්ති සංසදය’ මගින් සාකච්ඡාව, විශ්ලේෂණය සහ ඇගයීම සඳහා වේදිකාවක් සපයනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන අතර එමඟින් අදාළ ක්‍රියාකාරීන් සමඟ සම්බන්ධ වීම ශක්තිමත් වනු ඇත. තෝරාගත් මාතෘකා තත්කාලීන හා අදාළ වීම වැදගත් වූ බවත්, පසුව පැවැත්වෙන සාකච්ඡා ප්‍රතිපත්ති තීරණ සඳහා නිර්දේශ ලබා දීමට උපකාරී විය යුතු බවත් ඔහු පැවසීය.

පිළිගැනීමේ කතාව සිදු කළ LKI හි විධායක අධ්‍යක්ෂ තානාපති රවිනාථ ආර්‍ය්‍යසිංහ මැතිතුමා සඳහන් කළේ ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක ‘පොදු පදනමක්’ ගොඩනැගීම   සහ ගැටළු සම්බන්ධයෙන්

‘ශ්‍රී ලාංකික ඉදිරි දර්ශනයක්’ වර්ධනය කිරීම සඳහා නව වේදිකාවට දායක විය හැකි බවයි. දිවංගත විදේශ අමාත්‍ය කදිර්ගාමර් මහතා තම ජීවිත කාලය තුළ කැප වී සිටි ඉලක්ක මෙබදු බවත්, LKI වැනි ආයතනයක් මඟින් එතුමාගේ ජීවිත කාලයෙන් පසුවද ඒවා ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පැවසීය. ඔහු ප්‍රකාශ කළ පරිදි, වරින් වර සිදු කෙරෙන තවත් LKI ප්‍රමුඛ ව්‍යාපෘති කිහිපයකට අමතර ව, ආයතනය   විසින් ගෝලීය පාලනය, ගෝලීය ආර්ථිකය, ගෝලීය සාමය සහ ආරක්ෂාව සහ ගෝලීය සබඳතා යන තේමා 4 යටතේ පුළුල් ‘LKI පර්යේෂණ වැඩසටහනක්’ ක්‍රියාත්මක කර ඇත. ආයතනයේ නේවාසික පර්යේෂණ කාර්ය මණ්ඩලයට අමතර ව, රටට සහ ගෝලීය ප්‍රජාවට වඩා හොඳින් සේවය කිරීම සඳහා විදේශ ප්‍රතිපත්ති විකල්පයන් සංවර්ධනය කිරීමට දායක විය හැකි සහ උපාය මාර්ග විකාශනය කළ හැකි මහජන කතිකාවතක් සක්‍රීය කළ හැකි ජාලයක් ගොඩනැගීම සඳහා LKI විසින් අදාළ විද්වතුන් සහ  විශේෂඥයන්ගේ සේවය ලබා ගන්නා බව ඔහු සඳහන් කළේය.

පසුව, හිටපු විදේශ ලේකම් තානාපති එච්.එම්.ජී.එස් පලිහක්කාර මහතා,  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ සහ උපාය මාර්ගික ඇගයීම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ   ආචාර්ය හරින්ද විදානගේ මහතා, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (IPS) විධායක අධ්‍යක්ෂ චාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය, සහ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ (NPC) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා යනාදීන්ගෙන් සැදුම් ලත් කීර්තිමත් මණ්ඩලයක් විසින් "වෙනස් වන ගෝලීය ගතිකත්වය: ශ්‍රී ලංකාවට ඇඟවුම්" (The Changing Global Dynamics: Implications for Sri Lanka)  පිළිබදව සාකච්ඡා කරන ලදී:  සැසිවාරය මෙහෙයවූ තානාපති ආර්‍ය්‍යසිංහ මැතිතුමා විසින් ගෙන හැර දක්වන ලද වත්මන් ගෝලීය අනුපිළිවෙලෙහි කැපී පෙනෙන යම් ගතිකතාවයන් පිළිබද පැහැදිලි කිරීමේ දී, ශ්‍රී ලංකාව කෙරේ මෙම ප්‍රවණතාවල ඇඟවුම්, මණ්ඩලය විසින්  පිළිවෙලින් විදේශ ප්‍රතිපත්ති, උපායමාර්ගික ආරක්ෂාව, ආර්ථික සහ සිවිල් සමාජ දෘෂ්ටි කෝණයන්ගෙන් විශ්ලේෂණය කරන ලදී. ඉන් අනතුරු ව උද්දීපිත වූ  ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්විණි.

ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය

2023 අගෝස්තු 10

..............................................

..............................................

Print Friendly, PDF & Email
Please follow and like us:

Close