දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මීළඟ මහලේකම්වරයා ලෙස ඇසල වීරකෝන් මහතා අනුමත වේ

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මීළඟ මහලේකම්වරයා ලෙස ඇසල වීරකෝන් මහතා අනුමත වේ

Mr. Esala Weerakoon

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) 14 වන මහලේකම් ධුරයට 2020 මාර්තු 1වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, හිටපු විදේශ කටයුතු ලේකම් සහ ජ්‍යෙෂ්ඨ වෘත්තීය තානාපති ඇසල වීරකෝන් මහතාගේ නම පසුගිය සතියේ නිව්යෝර්ක් නුවර පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) අමාත්‍ය මණ්ඩල කවුන්සිලයේ නිළ නොවන හමුවේදී අනුමත විය. වීරකෝන් මහතා මේ වන විට ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස සේවය කරයි.

මෙම හමුවෙහි මුලසුන හෙබවූයේ නේපාල විදේශ අමාත්‍ය ප්‍රදීප් කුමාර් ග්‍යාවාලි මහතා විසින් වන අතර ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය සලාහුදීන් රබ්බානි, භූතානයේ විදේශ අමාත්‍ය ආචාර්ය තන්දි ඩෝර්ජි, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්, මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ්, පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මහමුද් කුරේෂි, බංගලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂාරියාර් අලාම් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ලේකම්වරයා ද මෙම හමුවට සහභාගි විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයට සමගාමීව 2019 සැප්තැම්බර් 26 වන දින නිව්යෝක් නුවර පැවති රැස්වීම අමතමින් විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මීළඟ මහලේකම්වරයාගේ අනුමැතිය පිළිගත් අතර ශ්‍රී ලංකාව සාර්ක් සංවිධානය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බව පැවසුවේය.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) විදේශ කටයුතු අමාත්‍යවරුන් විසින් පසුගිය වසරේ ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කළ අතර වෙළඳ කටයුතු දියුණුව, ආයෝජන, අන්‍යෝන්‍ය සම්බන්ධතා, සංචාරක ව්‍යාපාර, සංස්කෘතිය, ආරක්ෂාව, සාමය සහ ස්ථාවරත්වය සඳහා කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරන ලදී.

නිළ නොවන මට්ටමේ හමුවක් කැඳවීම පිළිබඳව විදේශ කටයුතු ලේකම්වරයා විසින් සාර්ක් සංවිධානයේ  අමාත්‍ය මණ්ඩල කවුන්සිලයේ සභාපති, නේපාල විදේශ අමාත්‍ය ප්‍රදීප් කුමාර් ග්‍යාවාලි මහතා සහ සංගමය හමුවේ ඇති අභියෝග සහ ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සංක්ෂිප්තව තොරතුරු දැක්වූ වත්මන් මහලේකම් අම්ජාඩ් හුසේන් බී. සියල් මහතා වෙත සිය ප්‍රශංසාව පිරි නමන ලදී. මහලේකම් ධුරය දැරූ කාලය තුළ කලාපයේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ඔහු සියල් මහතාට ස්තූතිය පුද කළේය.

සාර්ක් කලාපය උපයෝගී කර නොගත් මානව හා ස්වාභාවික සම්පත් විභවයන්ගෙන් පොහොසත් බව අවධාරණය කරමින්, විදේශ කටයුතු ලේකම්වරයා විසින් කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත අවධාරණය කළ අතර සාර්ක් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ඉහළ ප්‍රමුඛතාවයක් ලබා ඇති බව එම මහතා ප්‍රකාශ කර සිටියේය. සම්බන්ධතාව, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීමේදී කලාපීය සහයෝගීතාවය පුළුල් කිරීම කලාපයේ තිරසාර සංවර්ධනයට සහ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සංවර්ධනයට අතිශයින් වැදගත් බව ඔහු පැවසීය.

මෑතකදී එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේදී ශ්‍රී ලංකාව අත්විඳි පරිදි, ත‍්‍රස්තවාදය සහ ප‍්‍රචණ්ඩකාරී අන්තවාදය කලාපයේ සාමූහික සාමයට හා ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව සඳහන් කළ විදේශ කටයුතු ලේකම් ආර්යසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මෑත වර්ෂවලදී ත‍්‍රස්තවාදී වසංගතයෙන් දකුණු ආසියාව අසාමාන්‍ය ලෙස බලපෑමට ලක්ව ඇති බවයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ සංවාද අතර තොරතුරු හුවමාරු කිරීම හරහා අන්තර්ජාතික ත්‍රස්තවාදී තර්ජන සාමූහිකව විසඳා ගැනීමට සාමාජික රටවල් උත්සාහ කළ යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

කලාව තුළින් මනුෂ්‍ය සබඳතා සහ කලාපීය සමගිය ප්‍රවර්ධනය කිරීමේ අදහසින්, සංස්කෘතිය සඳහා සාර්ක් න්‍යාය පත්‍රය සඳහා වූ සිය කැපවීම ද ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කළේය. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා වන නවීන කලා සංකීර්ණය ශ්‍රී ලංකාවේ මාතර ප්‍රදේශයෙහි ඉදිවෙමින් පවතී. මේ වන විට ශ්‍රී ලංකා රජය ඉදිකිරීම් කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10.5 ක් ලබා දී ඇත. සාමාජික රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දකුණු ආසියාවේ වටිනා සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සාමාජික රටවල් සමඟ සහභාගීත්ව හා සහභාගී වීමෙන් තොර ක්‍රියාකාරකම් රාශියක් සංවිධානය කරයි.

 

එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය
නිව්යෝර්ක්
2019 ඔක්තෝම්බර් 04 වැනි දින

Photo - 01

 Photo - 02

 Photo - 03

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close