අධ්‍යාපන අමාත්‍යවරයා පෝලන්තයේ ටොරුන් හි පැවති ලෝක කොපර්නිකන් සමුළුවට සහභාගි වේ

අධ්‍යාපන අමාත්‍යවරයා පෝලන්තයේ ටොරුන් හි පැවති ලෝක කොපර්නිකන් සමුළුවට සහභාගි වේ

පෝලන්තයේ අධ්‍යාපන හා විද්‍යා අමාත්‍ය ප්‍රෙමිස්ලෝ සාර්නෙක් මැතිතුමා යොමු කළ ඇරයුමකට අනුව, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, 2023 පෙබරවාරි 19 සිට 21 යන දිනවල පෝලන්තයේ ටොරුන් හි පැවති ලෝක කොපර්නිකන් සමුළුවට සහභාගි විය.

 පෝලන්තයේ අධ්‍යාපන හා විද්‍යා අමාත්‍ය ප්‍රෙමිස්ලෝ සාර්නෙක් මැතිතුමා හමු වූ අමාත්‍ය ප්‍රේමජයන්ත මැතිතුමා, අධ්‍යාපන ක්ෂේත්‍රය හා සබැඳි ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

විද්‍යා අධ්‍යාපනයේ ප්‍රධාන වර්ධනයන් මෙන්ම, සමාජීය ප්‍රතිලාභ සහ ප්‍රගතිය උදෙසා විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාත්මක කිරීම සඳහා අවැසි නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගත හැකි හොඳම භාවිතයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලොව විවිධ රටවල අමාත්‍යවරුන්, විද්‍යාඥයන් සහ විද්වතුන් හමු වීමේ අවස්ථාව ද අමාත්‍යවරයාට හිමිවිය.

විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමේ නිදහස මෙන්ම විද්‍යාත්මක විචාර සහ විවාද ඉදිරිපත් කිරීමේ  නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍යවරුන් විසින් ටොරුන් ප්‍රකාශය මෙහිදී සම්මත කරන ලදී.

ලෝක කොපර්නිකන් සමුළුව යනු  පුනරුද සමයේ බිහි වූ ප්‍රකට  තාරකා විද්‍යාඥයකු වන නිකලස් කොපර්නිකස්ගේ 550 වැනි ජන්ම දිනය සනිටුහන් කිරීම සඳහා පවත්වන ලද ජාත්‍යන්තර උත්සවයකි. "ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු මෙන්ම තාරකා විද්‍යාඥයකු වූ කොපර්නිකස්ගේ ජීවිතය හා එතුමා සිදු කළ ක්‍රියාකාරකම් ඇසුරින් සිදු කර ඇති පර්යේෂණ පිළිබඳව සහ විද්‍යාව, සංස්කෘතිය සහ කලාව සංවර්ධනය කිරීමෙහිලා එතුමා එල්ල කළ බලපෑම" පිළිබඳව අවධානය යොමු කිරීම මෙම සමුළුවේ අරමුණ වේ. මෙම සමුළුවට සහභාගි වූ  විදේශීය නියෝජිතයන්ගේ සහභාගිත්වය සඳහා අවැසි අරමුදල් එහි සංවිධායකයන් විසින් සපයන ලදී.

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ (ACCIMT) සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා ද මෙම සමුළුවට සහභාගි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වෝර්සෝ

2023 පෙබරවාරි 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close