ඕස්ට්‍රේලියාවේ ජාතික ස්මාරක ශ්‍රී ලංකාව වෙනුවෙන් ආලෝකවත් කෙරේ

ඕස්ට්‍රේලියාවේ ජාතික ස්මාරක ශ්‍රී ලංකාව වෙනුවෙන් ආලෝකවත් කෙරේ

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරය සහ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 75 වසරක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ජාතික ධජයේ වර්ණ ප්‍රදර්ශනය වන පරිදි ඕස්ට්‍රේලියානු ජාතික ස්මාරක ආලෝකවත් කිරීමට කටයුතු කළේ ය.

කැන්බරා (ද රෝයල් ඕස්ට්‍රේලියන් මින්ට්, පරණ පාර්ලිමේන්තුව සහ කැරිලියොන්), මෙල්බර්න් (ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට් දුම්රිය ස්ථානය), ක්වීන්ස්ලන්ඩ් (පාර්ලිමේන්තුව, නගර ශාලාව) පර්ත් (සභා මන්දිරය සහ පාලම් පහ) යන නගරවල පිහිටි මෙම සුවිශේෂී ස්ථාන 12 ශ්‍රී ලංකාවේ ඓතිහාසික නිදහස් දින සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2023 පෙබරවාරි 03-06 යන දිනවල ශ්‍රී ලංකා ධජයේ වර්ණවලින් ඒකාලෝක කරන ලදී.

සංකේතාත්මක අයුරින් මෙලෙස ස්මාරක ආලෝකවත් කිරීම හරහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් පවතින දිගුකාලීන මිත්‍රත්වය සංකේතවත් විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පෙබරවාරි 04 වැනි දින, කැන්බරා හි ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයන් සහ මේ වන විට ඕස්ට්‍රේලියාව තුළ පුහුණුව ලබන ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී 75 වැනි නිදහස් සංවත්සරය සැමරී ය. ජාතික ධජය ඔසවා සිංහල සහ දමිළ යන භාෂාවලින් ජාතික ගීය ගායනා කිරීමෙන් සහ සර්ව ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව මෙම සැමරුම් උත්සවය ආරම්භ විය.

මෙහිදී අදහස් දැක්වූ වැඩබලන මහ කොමසාරිස් චමරි රුද්‍රිගු මහත්මිය, ආර්ථික වශයෙන් එල්ල වී ඇති අභියෝග රැසක් මධ්‍යයේ වුවද මෙම ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ බව සඳහන් කළා ය. තවද, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ මහා පරිමාණයේ නිදහස් දින උත්සවයක් පැවැත්වීමට නොහැකි වුවද, මෙය වූ කලී නිදහස හිමි වීමෙන් අනතුරුව එළඹුණු වර්ෂ පිළිබඳව මෙනෙහි කළ යුතු කාලයක් බවත්, අසාර්ථක වූ අවස්ථා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමටත්,  රටේ යහපැවැත්ම සහතික කිරීම සඳහා පුරවැසියන් සතු කැපවීම නිවැරදි දිශානතියට යොමු කිරීමටත් වඩාත් සුදුසු කාලයක් වන බව එතුමිය සඳහන් කළා ය.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය දෙරටේ පුද්ගලාන්තර සබඳතා සහ හවුල් වටිනාකම් මත පදනම් වී ඇති බවද වැඩබලන මහ කොමසාරිස්වරිය අවධාරණය කළා ය. “ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ නිවහන බවට පත්ව ඇති ඕස්ට්‍රේලියාව සමඟ වසර 75 ක් මුළුල්ලේ පවත්වන අන්‍යෝන්‍ය හවුල්කාරිත්වය සනිටුහන් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ස්මාරක විශාල ප්‍රමාණයක් ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ධජයේ වර්ණවලින් මෙලෙස ඒකාලෝක කරන ලදී. ඕස්ට්‍රේලියාව මෙලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ කළ සුහදත්වය  වෙනුවෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිය අවංක ප්‍රශංසාව පළ කර සිටියි”, යනුවෙන් එතුමිය වැඩිදුරටත් සඳහන් කළා ය.

මෙම සුවිශේෂී අවස්ථාව ආවරණය වන පරිදි ඡායාරූප/වීඩියෝ ගත කිරීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාව දිරිමත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ කැන්බරා හි ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා සංගමය (ASLA) ස්මාරක ආලෝකවත් කිරීමේ ව්‍යාපෘතියට සිය සහය ලබා දුන්හ. ශ්‍රී ලංකාවට පැමිණීම සහ නැවත පිටව යාම සඳහා වන ගුවන් ටිකට් පතක් හොඳම ඡායාරූපය ඉදිරිපත් කළ  ජයග්‍රාහකයාට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අනුග්‍රහය යටතේ පිරිනමන ලදී.

කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඕස්ට්‍රේලියාවේ සුවිශේෂී ස්මාරක ශ්‍රී ලංකා ධජයේ වර්ණවලින් මෙලෙස ආලෝකවත් කිරීමේ අවස්ථාව වැදගත් හා ඓතිහාසික අවස්ථාවක් ලෙස සලකයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

කැන්බරා

2023 පෙබරවාරි 21 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close