2018 අප්‍රේල් මස 16 -20 වැනිදා දක්වා එක්සත් රාජධානියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වෙයි

2018 අප්‍රේල් මස 16 -20 වැනිදා දක්වා එක්සත් රාජධානියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වෙයි

CHOGM 2018 logo

2018 අප්‍රේල් මස 16-20 වැනිදා දක්වා එක්සත් රාජධානියේ දී ආරම්භවීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමට, පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53 හි රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද සහභාගීවීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාද ජනාධිපතිතුමා සමඟ මෙම රැස්වීමට එක්වීමට නියමිතය.

සෞභාග්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව කටයුතු කරන පොදු රාජ්‍ය මණ්ඩලය බහුවිධ ප්‍රජාවකින් හෙබි ජාතීන් සමූහයක එකතුවකි. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් එක්ව පොදු වටිනාකම් නැවත අවධාරණය කිරීම, පොදුවේ මුහුණපා සිටින අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සහ විශේෂයෙන් තරුණ කොටස් ඇතුළුව සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම යන කරුණු පිළිබඳව සලකා බැලෙන අවස්ථාවක් ලෙස මෙම රාජ්‍ය නායක රැස්වීම් හැඳින්විය හැකිය.

"පොදු අනාගතයක් උදෙසා" යන තේමාවෙන් ලන්ඩනයේ පැවැත්වෙන මෙම රැස්වීම, පොදු රාජ්‍ය මණ්ඩලයේ ශක්තීන් තුළින් ගොඩනැඟීම සඳහා සංවිධානය ගෝලීය අභියෝගයන්ට ප්‍රතිචාර දක්වන බවට සහතිකවෙමින්, වඩාත් සමෘද්ධිමත්, ආරක්ෂිත, තිරසාර සහ සාධාරණ අනාගතයක් තරුණ කොටස් ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සියලු පුරවැසියන්ට උරුම කරදීම කෙරෙහි අවධානය යොමු කරයි. සියලුම සාමාජික රටවල් මුහුණපා සිටින පොදු අභියෝගයන් වන දුර්වල ගෝලීය වෙළෙඳ කටයුතු සහ ආයෝජන ගලාඒම්, දේශසීමා ආරක්ෂාවට පවතින තර්ජන, කුඩා මෙන්ම පීඩාවට පත් රාජ්‍යයන්ට කාලගුණික විපර්යාසවලින් සිදුව ඇති බලපෑම්, ප්‍රජාතන්ත්‍රවාදයේ පොදු වටිනාකම් සඳහා වන තර්ජන , යහපාලනය හා පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියේ සඳහන් ආකාරයට අන්තර්ගතවීම යනාදිය හඳුනාගනිමින් රාජ්‍ය නායකයන් විසින් වඩා තිරසාර, සාධාරණ, ආරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සාමාජිකයින්ට උදාකරදීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරනු ලබති.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක රැස්වීමට සහභාගිවීම, සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම යළි අවධාරණය කෙරෙන අතර, සංවිධානය සමඟද, අනෙක් ස්වාධීන සාමාජික රාජ්‍යයන් සමඟ ද පවත්නා සහයෝගීතාව පුළුල් කිරීමට ඉවහල් වෙයි.

ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිත කාර්යයන් අතර 19 වැනිදා රාජ්‍ය නායකයන්ගේ රැස්වීමට සහභාගිවීම, 18 වැනිදා " තිරසාර සංවර්ධන ඉලක්ක උදෙසා ක්‍රියාකිරීම: ව්‍යාපාර, සමාජය සහ රජයන් අනුගත කිරීම යන තේමාව යටතේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයට ප්‍රධාන දේශකයා ලෙස සහභාගිවීම, හා 20 වැනිදා රාජ්‍ය නායකයන්ගේ විවේක දිනය වේ.

පොදු රාජ්‍ය මණ්ඩල වෙළෙඳ වාසි අත්පත් කරගැනීම සඳහා දකුණු ආසියානු කලාපයේ වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත වෙමින්, පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදය සඳහා ප්‍රධාන වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිත ය. උසස් ජීවන තත්ත්වයන් ලොව පුරා ප්‍රවර්ධනය කිරීමේ කදිම මඟක් ලෙස නිදහස් හා සියල්ල අන්තර්ගත වෙළෙඳ ක්‍රමයක් සඳහා බලවත් ක්‍රියාදාමයක් ව්‍යාපාර සංසදය විසින් සකස්කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයේ නීල ප්‍රඥප්ති මූලාරම්භය තුළ ශ්‍රී ලංකාව විජයග්‍රාහී රාජ්‍යයක් බවට පත්වනු ඇති අතර, අනෙකුත් සාමාජික රටවල් සමඟ සංසක්ත සමුද්‍රීය උපායමාර්ග සකස් කිරීමෙහි නියැලෙමින් නීල ආර්ථිකයක් පවත්වා ගැනීම වෙනුවෙන් ක්‍රියා කරනු ලබයි. ඉහත කාර්යභාර්ය වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ හැකි ප්‍රධාන අංශයක් වශයෙන් ශ්‍රී ලංකාව කඩොලාන යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩපිළිවෙල කෙරෙහි සිය අභිරුචිය පෙන්නුම් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 අප්‍රේල් මස 12 වැනිදා

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close