සහයෝගිතා ක්ෂේත්‍ර සාධාරණීකරණය හා බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීම පිළිබඳව කොළඹ රැස්වීමෙහි දී අවධාරණය කෙරේ

සහයෝගිතා ක්ෂේත්‍ර සාධාරණීකරණය හා බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීම පිළිබඳව කොළඹ රැස්වීමෙහි දී අවධාරණය කෙරේ

Pic1

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සත්කාරකත්වයෙන් යුතුව 2019 ඔක්තෝබර් 10 සහ 11 යන දිනවල කොළඹ දී පවත්වන ලද බිම්ස්ටෙක් නිත්‍ය ක්‍රියාකාරී කමිටුවේ (BPWC) දෙවැනි රැස්වීමේ දී බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සහයෝගිතා ක්ෂේත්‍ර සාධාරණීකරණය හා එම සංවිධානයේ ප්‍රඥප්තියේ කෙටුම්පත පිළිබඳව සාකච්ඡා පවත්වන ලද අතර, එහි දී බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය හා ආසියානු සංවර්ධන බැංකුව අතර අත්සන් තැබීමට නියමිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත සඳහා එකඟතාවය පළ කරන ලදී. සියලු බිම්ස්ටෙක් සාමාජික රාජ්‍ය, එනම්, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය මෙන්ම, බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය ද මෙම සාකච්ඡා සඳහා සහභාගී විය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා මෙම රැස්වීමෙහි මුලසුන දැරීය.

බිම්ස්ටෙක් සංවිධානය වඩාත් ශක්තිමත් සංවිධානයක් බවට පත් කිරීම සඳහා සාමාජික රාජ්‍ය වෙන් වෙන් වශයෙන් හා සාමූහිකව දරනු ලබන ප්‍රයත්නවල වැදගත්කම පිළිබඳව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා තම සමාරම්භක දේශනයේ දී අවධාරණය කළේය. තුන්වැනි දශකය තුළට පිවිස සිටින බිම්ස්ටෙක් කලාපයේ, අන්තර් කලාපීය වෙළඳාම 3.7% ක් සහ ආයෝජනය දළ වශයෙන් 5% ක් පමණක් වන අතර, එහි පූර්ණ සමාජ-ආර්ථික විභවයේ ප්‍රතිලාභ තවමත් ලබාගෙන නොමැති බව ඔහු සඳහන් කළේය. මෙම සංවිධානයෙහි ඉදිරි ගමන වළකාලන්නේ පරිකල්පනය, සම්පත් හෝ දේශපාලන අභිමතය යන කවරක් දැයි තේරුම් ගැනීම සඳහා ක්‍රියාකාරීව උත්සාහ දරන ලෙස ඔහු නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය. බිම්ස්ටෙක්හි වර්තමාන සභාපතිත්වය දරන රට ලෙස ශ්‍රී ලංකාව, බිම්ස්ටෙක් සංවිධානය, සම්පත් උපරිම ලෙස උපයෝගී කර ගනිමින් එහි සියලු ජනතාවන් වෙත නිශ්චිත ප්‍රතිලාභ ළඟා කරවන, ප්‍රතිඵල අරමුණු කරගත් සංවිධානයක් බවට පත් කිරීම පිණිස බිම්ස්ටෙක් සංවිධානය යලි පණගැන්වීම සඳහා බිම්ස්ටෙක් ප්‍රඥප්තිය ඉක්මනින් නිමා කිරීම සහ එහි ක්ෂේත්‍ර සාධාරණීකරණය කිරීමේ ඇති තීරණාත්මක බව බව දුටුවාය. පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බිම්ස්ටෙක්හි සාමාජික රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ලද සහයෝගිතාව පිළිබඳව සිය ප්‍රශංසාව පුද කරමින් ඔහු කියා සිටියේ, විශේෂයෙන් ත්‍රස්තවිරෝධී කටයුතු හා දේශසීමා ඉක්මවමින් සිදුකරන අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමීප සහයෝගීතාවයක් ඇති කර ගන්නා බවයි. බිම්ස්ටෙක් සංවිධානය, අයෝරා, ආසියාන් සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ සමීපව කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් තානාපති එම්. ෂාහිදුල් ඉස්ලාම් මැතිතුමා සිය අදහස් දැක්වීමේ දී, 2018 අගෝස්තු මාසයේ දී කත්මණ්ඩු නුවර පැවති 4 වැනි බිම්ස්ටෙක් සමුළුවේ දී නායකයින් විසින් ආයතනික ප්‍රතිසංස්කරණ, සහයෝගීතා ක්ෂේත්‍ර සාධාරණීකරණය කිරීම සහ ආංශික ක්‍රියාකාරකම් පුනර්ජීවනය කිරීම සහ බිම්ස්ටෙක් ප්‍රඥප්තියට අදාළව ගන්නා ලද තීරණ පිළිබඳව සඳහන් කරමින්, කොළඹ දී පැවැත්වීමට නියමිත පස්වැනි බිම්ස්ටෙක් මහ සමුළුවේ දී, සිදුකෙරෙමින් පවතින වැඩකටයුතු පිළිබඳ ප්‍රගතිය ඉදිරිපත් කරනවාට වඩා, අනුමත කිරීම සඳහා වූ යම් නිශ්චිත ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. තම තමන්ගේ රටවල අගනගරවල ජාතික කේන්ද්‍රස්ථාන ලෙස කටයුතු කරන, එම සාමාජික රාජ්‍යවල ජ්‍යේෂ්ඨ මට්ටමේ නිලධාරීන්ගෙන් බිම්ස්ටෙක් නිත්‍ය ක්‍රියාකාරී කමිටුව සමන්විත වන බැවින්, එමඟින් උපරිමය උත්පාදනය කළ හැකි බව ද ඔහු පැවසීය.

මූල්‍ය හා මානව සම්පත් තුළින් බිම්ස්ටෙක්හි ආයතනික ධාරිතාවය පුළුල් කිරීම සඳහා කත්මණ්ඩු නුවර පැවති 4 වන බිම්ස්ටෙක් සමුළුවේ දී ගන්නා ලද තීරණයෙන් අනතුරුව, මහලේකම් කාර්යාලය සඳහා පත් කිරීමට අපේක්ෂිත නව අධ්‍යක්ෂවරුන් පිළිබඳව බිම්ස්ටෙක් නිත්‍ය ක්‍රියාකාරී කමිටුව තවදුරටත් සාකච්ඡා කළේය. බිම්ස්ටෙක් මහලේකම් කාර්යාලය සඳහා අධ්‍යක්ෂවරයෙකු නම් කිරීමට 2020 ජුනි මාසයේ දී ශ්‍රී ලංකාව ද සුදුසුකම් ලබනු ඇත. බිම්ස්ටෙක් මධ්‍යස්ථාන/ආයතන පිහිටුවීම පිළිබඳ සහයෝගිතා ගිවිසුමේ යාවත්කාලීන කෙටුම්පත් ආකෘතියක්, 2020 ක්‍රියාකාරකම්/සිදුවීම් දින දර්ශනයේ කෙටුම්පත සහ 2020 මුදල් වර්ෂය සඳහා මහලේකම් කාර්යාලයේ ඇස්තමේන්තුගත අයවැය ද මෙම රැස්වීමේ දී සලකා බලන ලදී. 2020 ජනවාරි/පෙබරවාරි මාසවල දී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් නිත්‍ය ක්‍රියාකාරී කමිටුවේ 3 වැනි රැස්වීම සඳහා අවශ්‍ය ජවය ලබාදෙන, බිම්ස්ටෙක්හි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු සාමාජික රාජ්‍යයන්ගේ කැපවීම යළිත් තහවුරු කරමින් මෙම රැස්වීම අවසන් විය.

බිම්ස්ටෙක් මහලේකම් තානාපති ෂාහිදුල් ඉස්ලාම් මැතිතුමා, රැස්වීම අතරතුර දී විදේශ ලේකම්වරයා හමුවී බිම්ස්ටෙක්හි ආයතනික හා මෙහෙයුම් රාමුව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කළේය. සාමාන්‍ය පරිපාලන කටයුතුවල නිරතව සිටීමට වඩා, බිම්ස්ටෙක් සංවිධානය තම ජනතාවගේ අභිලාෂයන්ට සේවය කරන පරිකල්පනයකින් යුතු ශක්තිමත් සංවිධානයක් බවට පත් කිරීම සඳහා උදව් කිරීමට ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් කැපවී සිටින බව විදේශ ලේකම් ආර්යසිංහ මහතා මහලේකම්වරයාට සහතික විය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ඔක්තෝබර් 16 වැනි දින

 

 

Pic2
Pic4
Pic3
Print Friendly, PDF & Email
Please follow and like us:

Close