කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් සහ ග්ලෝබල් ග්‍රීන් ග්‍රෝත් ආයතනයේ (Global Green Growth Institute) සභාපති බෑන් කී මූන් මැතිතුමා හමුවී සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වයි

කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් සහ ග්ලෝබල් ග්‍රීන් ග්‍රෝත් ආයතනයේ (Global Green Growth Institute) සභාපති බෑන් කී මූන් මැතිතුමා හමුවී සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වයි

කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මැතිනිය 2023 පෙබරවාරි 1 වැනි දින සෝල් නුවර පිහිටි බෑන් කී මූන් පදනමේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් සහ ග්ලෝබල් ග්‍රීන් ග්‍රෝත් ආයතනයේ සභාපති සහ ප්‍රධානියා වන බෑන් කී මූන් මැතිතුමා හමුවිය.

මෙම හමුවේ දී සිය අදහස් කළ GGGI හි සභාපතිවරයා, තමන් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ලෙස සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ කාලය තුළ මෙන්ම, GGGI හි වත්මන් ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සමඟ වසර ගණනාවක් මුළුල්ලේ පවත්නා දිගුකාලීන මිත්‍රත්වය සහ බැඳීම පිළිබඳව සිහිපත් කළේ ය. තමන් ඉදිරියේ දී මෙරට සිදු කිරීමට නියමිත නිල සංචාරය පිළිබඳව ද එතුමා සිය උද්‍යෝගය පළ කළේ ය.

GGGI ආයතනය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන මුලපිරීම් වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ තානාපති පානබොක්කේ මැතිනිය, දේශගුණික විපර්යාස සහ හරිත වර්ධනයට අදාළ අනාගත සහයෝගිතා ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළා ය.

ශ්‍රී ලංකාව වර්තමානයේ දී GGGI සභාවේ උප සභාපති ධුරය සහ GGGI කවුන්සිලයේ උප සභාපති ධුරය දරයි.

බෑන් කී මූන් පදනමේ ජාත්‍යන්තර සහයෝගිතා ඒකකයේ ප්‍රධානී චෝයි සුං ජූ, GGGI හි පාලන ඒකකයේ ප්‍රධානී ඩේව් කිම් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් සචිනි ඩයස් යන මහත්ම මහත්මීහු ද මෙම හමුව සඳහා සහභාගි වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

සෝල්

2023 පෙබරවාරි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close