එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීම පිළිබඳ අභියාචනය

එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීම පිළිබඳ අභියාචනය

මාධ්‍ය ප්‍රකාශය

එක්සත් රාජධානියේ තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාව (POAC) විසින් 2020 ඔක්තෝබර් 21 දින ලබා දෙන ලද විවෘත විනිශ්චය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැනුවත් කර තිබේ.

තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාවේ මෙම තීරණය පැන නගින්නේ, දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය, 2000 එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ තහනම් කරන ලද සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා එම සංවිධානයේ පෙරමුණු කණ්ඩායමක් ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්ගේ 2019 මාර්තු 8 දිනැති තීරණය අභියෝගයට ලක් කරමින්, 2019 මැයි මාසයේදී එල්ටීටීඊ පෙරමුණු සංවිධානයක් විසින් ගොනු කරන ලද අභියාචනයක් හේතුවෙනි.

තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාවේ මෙම කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශ්වකරුවෙකු නොවූ බැවින් එහි දී සෘජුව සම්බන්ධ වී කටයුතු කිරීමට නොහැකි වූ අතර, අඛණ්ඩව සිදු කෙරුණු ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලබා දීම මඟින් ශ්‍රී ලංකා රජය එක්සත් රාජධානියේ රජයට සහාය වී තිබේ.

තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාව විසින් ලබා දෙන ලද මෙම විවෘත විනිශ්චය, අභියාචනයට අවසර ලබා දෙන අතරම වැඩිදුර නඩු විභාග සඳහා ඉඩ සලසන අතර, එක්සත් රාජධානියේ විමසනු ලබන මෙම නඩුව පිළිබඳ ප්‍රගතිය අඛණ්ඩව ශ්‍රී ලංකා රජය විසින් සමීපව නිරීක්ෂණය කරනු ඇත.

එල්ටීටීඊයේ අවශේෂ කොටස් සහ එහි ත්‍රස්තවාදී මතවාදයට අනුකූල කණ්ඩායම්, ප්‍රචණ්ඩත්වය උසි ගැන්වීමට සහ රට අස්ථාවර කිරීමට කටයුතු කිරීම පිණිස විදේශ රටවල සිට ක්‍රියාත්මක වෙමින් පවතින බව සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ශ්‍රී ලංකා රජය සතුව පවතී. ශ්‍රී ලංකාව සිය ජාතික ආරක්ෂාවට මෙන්ම, කලාපයේ ආරක්ෂාවට ද එල්ල වන තර්ජන පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින අතර, ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ දී ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජිකයින්ට සැමවිටම සහාය වනු ඇත.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 ඔක්තෝබර් 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close