තුර්කියේ ශ්‍රී ලංකා තානාපති ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය මෑතක දී අන්කාරා හි ජාතික සභාවේ දී  ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති අහ්මට් හම්ඩි කම්ලි මහතා හමුවිය. තානාපතිනිය ඉතා උණුසුම් ලෙස පිළිගත් සභාපතිවරයා, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වූ දිසානායක මැතිනියට සුබ පැතුවා ය.

මෑතක දී තුර්කිය කම්පනයට පත් කළ විනාශකාරී භූ කම්පනය හේතුවෙන් විපතට පත් වූවන් වෙත සිය ශෝකය පළ කළ තානාපතිනිය, විපතට පත් ජනතාවට සහය වීම සඳහා ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගය පිළිබඳව සඳහන් කළා ය. 2004 වසරේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි ව්‍යසනය හමුවේ තුර්කිය ලබා දුන් සහය මෙන්ම ඉන් අනතුරුව ද ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දුන් සහයෝගය තානාපතිනිය මෙහිදී සිහිපත් කළා ය.

භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට සහය වීම සඳහා අන්කාරා හි රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව එක්රැස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉටු කරන ලද කාර්යභාරය සභාපති කම්ලි මහතාගේ පැසසුමට ලක්විය.

සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයට අදාළව තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංගම් සතු කාර්යභාරය කෙරෙහි මෙම සාකච්ඡාවේ අවධානය යොමු විය.

තුර්කියේ 100 වැනි ජනරජ දින සංවත්සරය පිළිබඳව සඳහන් කළ කම්ලි මහතා, අතීත තුර්කියේ යටත් විජිත සමය සහ ඊට එරෙහිව ක්‍රියාත්මක වූ අරගලය පිළිබඳව ද සිහිපත් කළේ ය.

ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ ඔම්බුඩ්ස්මන් කාර්යාලවල කාර්යභාරය ප්‍රවර්ධනය කිරීම සඳහා 2023 ජනවාරි මස මුලදී, එම කාර්යාල අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවද තානාපති දිසානායක මැතිනිය මෙහිදී සිහිපත් කළා ය.

මීට අමතරව, ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 75 ක් සපිරීමේ සංවත්සරය සහ තුර්කියේ 100 වැනි ජනරජ දින සංවත්සරය සනිටුහන් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නියෝජනය කරන දූත පිරිස් සඳහා සංචාර සංවිධානය කිරීම පිළිබඳව ද සාකච්ඡා පවත්වන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2023 මාර්තු 09 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close