තානාපති ආසිර්වතම් මැතිනිය ලක්සම්බර්ග් හි විදේශ කටයුතු පිළිබඳ මහලේකම්වරයා හමුවෙයි

තානාපති ආසිර්වතම් මැතිනිය ලක්සම්බර්ග් හි විදේශ කටයුතු පිළිබඳ මහලේකම්වරයා හමුවෙයි

බෙල්ජියමේ සහ ලක්සම්බර්ග් හි ශ්‍රී ලංකා තානාපති සහ යුරෝපා සංගමයේ දූත මණ්ඩල ප්‍රධානී ග්‍රේස් ආසිර්වතම් මැතිනිය 2023 ජනවාරි 3 වැනි දින ලක්සම්බර්ග්හි දී ලක්සම්බර්ග් හි විදේශ හා යුරෝපීය කටයුතු අමාත්‍යංශයේ මහලේකම් ජොන් ඔලින්ගර් මහතා හමුවිය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව මහලේකම්වරයා දැනුම්වත් කළ තානාපති ආසිර්වතම් මැතිනිය, රට තුළ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම  සහ වේගවත් සමාජ හා ආර්ථික ප්‍රගතියක් ළඟා කරගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ හඳුන්වා දී ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳව ද සඳහන් කළා ය. පෙර නොවූ විරූ ආකාරයේ බලපෑම් එල්ල කළ ආර්ථික අර්බුදයෙන් කඩිනමින් යථා තත්ත්වයට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න පැසසූ මහලේකම් ඔලින්ගර් මහතා, ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින ක්‍රියාවලියට දායක වීම සඳහා වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ලක්සම්බර්ග් හි පවතින වෙළඳපොළ අවස්ථා ගවේෂණය කරන ලෙස ශ්‍රී ලංකාවට යෝජනා කළේ ය.

ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 50  වසරක් සපිරීමේ සංවත්සරය පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා අපේක්ෂිත ද්විපාර්ශ්වික කටයුතු කඩිනම් කිරීමට ද ඔවුහු සිය එකඟත්වය පළ කළහ.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය සහ දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සපිරීමේ සංවත්සරය යන අවස්ථා ද්විත්ත්වය සැමරීම සඳහා ලක්සම්බර්ග්හි දී රාජ්‍යතාන්ත්‍රික උත්සවයක් පැවැත්වීමට තානාපති කාර්යාලය විසින් ගනු ලැබූ තීරණය මහලේකම් ඔලින්ගර් මහතාගේ පැසසුමට ලක්විය. එවැනි අවස්ථාවක් ලක්සම්බර්ග්හි දී පැවැත්වීම හරහා  ශ්‍රී ලංකාව පිළිබඳව දැනුම්වත් කිරීමටත් දෙරට අතර පවතින ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීමට හැකි වනු ඇති බවත් එතුමා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2023 පෙබරවාරි 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close