ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය අතරතුර විදේශ  කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ඉදිරිපත් කළ පිළිගැනීමේ කතාව - 2023 පෙබරවාරි 3 BMICH හී දී

ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය අතරතුර විදේශ  කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ඉදිරිපත් කළ පිළිගැනීමේ කතාව – 2023 පෙබරවාරි 3 BMICH හී දී

 

මගේ හිතමිත්‍ර බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල් මොමන් මැතිතුමනි,

සුගන්ති කදිරගාමර් මැතිනියනි,

සම්භාවනීය අමුත්තනි,

ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවයට පාත්‍ර වූ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු මෙන්ම දේශපානඥයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාට උපහාර දැක්වීමේ අනුස්මරණ දේශනය තුළින් ඔබ හමුවේ අදහස් දැක්වීමට අවස්ථාව හිමි වීම මා  ලද ගෞරවයක් ලෙස සලකමි.

වර්ෂ 1932 දී කොළඹ දී උපත ලද ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ දිවිය තුළින් අධ්‍යාපනය, විදග්ධ බව සහ රාජ්‍ය සේවය යනාදිය සඳහා වූ ඉහළ කැපවීමක් විදහා දැක්විණි. එතුමා දක්ෂ නීතිඥයෙකු, දක්ෂ කථිකයෙකු සහ නිර්භීත ලෙස මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි අයකු විය. නීති විෂය සම්බන්ධයෙන් තමන් තුළ පැවති දැඩි ආශාව හේතුවෙන් එතුමා ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ ගෞරවනීය නීති විශාරදයකු බවට පත් විය. එතුමා 1994 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් සේවය කළේ ය. සුවිශේෂී දක්ෂතා, ධෛර්යය සහ දැක්මක් සහිත පුද්ගලයකු වූ එතුමා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලය තුළ  දී රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ලෙස කටයුතු කිරීමේ භාග්‍යය මට හිමි විය.

එතුමාගේ විශිෂ්ට ජීවිතය පිළිබඳව අදහස් දැක්වීම සඳහා මිනිත්තු කිහිපයක් ප්‍රමාණවත් නොවන අතර, එතුමා ශාස්ත්‍රීය, දේශපාලන හෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින් ලද ජයග්‍රහණ පිළිබඳව ඔබ සියලු දෙනා දැනුවත්ව සිටින බව මම  විශ්වාස කරමි. එබැවින් සාමය, යුක්තිය, මානව හිමිකම් සහ ත්‍රස්තවාදයට එරෙහි සටන වෙනුවෙන් එතුමා කළ කැපවීම ඔස්සේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ගමන් මග වෙනස් වූ ආකාරය පිළිබඳව අද දින සිහිපත් කිරීමට මම කැමැත්තෙමි.

ත්‍රස්තවාදී තර්ජනවලින් අධික ලෙස පීඩාවට පත් වූ ලෝකයක සහ ඉන් විනාශයට පත් වූ ජාතියක් තුළින් බිහි වූ නිර්භීත හා ඇපකැප වූ නායකයෙකු ලෙස ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා ඉස්මතු විය. එල්ටීටීඊ සංවිධානය සහ අනෙකුත් ත්‍රස්තවාදී සංවිධාන දැඩි ලෙස විවේචනය කළ එතුමා, ශ්‍රී ලංකාවේ සාමය සහ යුක්තිය වෙනුවෙන් වෙහෙස නොබලා පෙනී සිටි අයෙකි. ත්‍රස්තවාදය තම රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම තර්ජනයක් බව වටහා ගත් එතුමා,  එය මර්දනය කිරීම සඳහා තමන්ට කළ හැකි සෑම දෙයක්ම ඉටු කිරීමට අදිටන් කර ගත්තේ ය. එල්ටීටීඊය සහ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් හුදකලා කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කළ එතුමා, ත්‍රස්තවාදය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් ප්‍රබල හඬක් නඟන නායකයකු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කැපී පෙනුණි.

එල්ටීටීඊය නිදහස් සටන්කාමීන් පිරිසක් හෝ පීඩිත ජනවාර්ගික පිරිසකගේ අයිතිවාසිකම් නියෝජනය කරන සංවිධානයක් ලෙස හුවා දැක්වීමට කඩිනමින් කටයුතු කළ බොහෝ දෙනෙක් එකල සිටිය හ. එහෙත්, එතරම් සත්‍යයෙන් ඈත් වූ වෙනත් කිසිවක් නොමැති තරම්ය. අවුරුදු 12 - 13 වයස්වල පසු වූ දරුවන් බලහත්කාරයෙන් තම පවුල්වලින් ඈත් කර, බයිනෙත්තුවක් සහ සයනයිඩ් කරලක් ඔවුන්ගේ ගෙල වට බලෙන්ම රඳවා, නියත මරණයක්  කරා ඔවුන්ව රැගෙන ගිය කල්ලියක් වන එල්ටීටීඊය ත්‍රස්තවාදීන් මිස වෙනත් කොට්ඨාශයක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැකි ය. ඔවුන්ගේ ම්ලේච්ඡත්වයට හසු නොවී සිටීමට කිසිවකුටත් නොහැකි විය. මෙරට සිංහල ජනතාවට අමතරව  මුස්ලිම් සහ දමිළ ජනතාව ද වචනයෙන් කිව නොහැකි ආකාරයේ ම්ලේච්ඡ ක්‍රියාවලට ගොදුරු වූහ. ඉන් හටගත් කැළැල් අදටත් දැකගත හැකි ය.

කෙසේ වුවද, එල්ටීටීඊයට එරෙහිව සිදු කළ යුද්ධයේ ජයග්‍රහණය අත්පත් කරගනු ලැබුවේ හුදෙක් උතුරු නැඟෙනහිර යුද පිටියේ සිදු කළ ක්‍රියාන්විත හරහා පමණක්ම නොවේ.  අපගේ ස්ථිරසාර විදේශ කටයුතු අමාත්‍යවරයා, ලොව පුරා පැවති රැස්වීම් හා සම්මන්ත්‍රණවල දී ලෝක නායකයන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා පවත්වමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා එඩිතරව සටන් කළේ ය. එල්ටීටීඊයේ අරමුදල් රැස් කිරීම මැඩපැවැත්වීම, ආයුධ ලබාගැනීමේ ප්‍රවේශය වැළැක්වීම හෝ එල්ටීටීඊයේ ම්ලේච්ඡත්වය පිළිබඳව සිදු කළ පූර්ව නිගමනයන් පිළිගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව වෙත අනවරතයෙන් බලපෑම් එල්ල කළ  කදිරගාමර් මැතිතුමාගේ සුවිශේෂී කාර්යභාරය පිළිබඳව   අගය කිරීමෙන් තොරව, යුද ජයග්‍රහණ පිළිබඳව සඳහන් කළ නොහැක.

එනමුදු, කදිරගාමර් මැතිතුමා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ සටන්කාමියකුට වඩා ඉන් ඔබ්බට ගිය නායකයකු විය. එතුමා සෑම විටම මිනිසුන් එකමුතු කිරීමටත්, ඔවුන් පොදු සම්මුතියක් කරා ගෙන ඒමටත් උත්සාහ කළ ජනතාව එක්සත් කරන්නෙකු සහ දේශපාලනඥයකු විය. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා පවතින එකම මාර්ගය වන්නේ ශක්තිමත්, එක්සත් සහ සාමකාමී ජාතියක් ගොඩනැගීම බව එතුමාගේ විශ්වාසය විය. යථාර්ථවාදි දැක්මක් සහිත පුද්ගලයකු වූ එතුමා, ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් තොරව සාමය ඇති කළ නොහැකි බව වටහාගෙන සිටියේ ය. තවද, ලොවම කොවිඩ්-19 වසංගතයේ කටුක අත්දැකීම් ලැබීමට බොහෝ කලකට පෙර පටන් අනාගතය දුටු එතුමා, සියලු දෙනාම සුරක්ෂිත වුවහොත් මිස කිසිවකුත් සුරක්ෂිත නොවන බව පසක් කළේ ය. පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාව සහ විවිධත්වය තුළ දැකගත හැකි  ඒකීයත්වයේ ප්‍රබලබව  පිළිබඳව දැඩි ලෙස විශ්වාස කළ සැබෑ දේශප්‍රේමියකු ලෙස එතුමා හඳුනාගත හැකි ය. ජනවාර්ගික වශයෙන් බෙදී කටයුතු කිරීම සම්බන්ධයෙන් කිසිදු විටෙක පෙනී නොසිටි එතුමා, ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාව ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකිකයෝ වෙති. ඉන් අනතුරුව, ජාතිය සහ ආගම අපට උපතේ දී හිමි වන්නකි. අප සියලුම ජාතීන්ට සහ ආගම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ දිවි ගෙවිය යුතුය.”  යයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. ආගම හෝ ජාතිය යනු ලැජ්ජාවට පත්විය යුතු කරුණක් බවට මින්  අදහස් නොකෙරිණි. ඊට පටහැණිව, විවිධත්වය තුළ ඒකීයත්වය සොයා යාම අත්‍යවශ්‍ය වන බැවින්, විවිධ විශ්වාසයන් සහ ජනවර්ගවලට ගරු කළ යුතු වේ.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා පවතින එකම මාර්ගය වන්නේ එක්සත් බව, දයාව දැක්වීම සහ මානව ගරුත්වය සහතික කිරීම බවට එතුමා  තුළ වූ ස්ථිර විශ්වාසය, කාලයාගේ ඇවෑමෙන් නොනැසී පැවතිණි. යුද ගැටුම් හේතුවෙන් දැඩි ලෙස හානි වූ දේ නැවත පිළිසකර කිරීම සඳහා බොහෝ ක්‍රියාකාරකම් සිදු කරන ලදී. යුද පිටියේ සිටි දරුවන් අපි පංති කාමරවලට ගෙන ආවෙමු.  අපි ඔවුන්ගේ ගෙල වටා රැඳි බයිනෙත්තු සහ සයනයිඩ් කරල් ඉවත් කොට, ඒ  වෙනුවට පොත් සහ පෑන් ආදේශ කළෙමු. සටන්වල නිරත වූ අයට ද, ඔවුන්ට සිය දිවිය තුළ ලැබිය යුතු හරවත් අවස්ථා භුක්ති විඳීමේ ඉඩහසර ලබා දීමේ අරමුණින් යුතුව, ඔවුන් පොදු සමාජය සමඟ යළි සම්බන්ධ කළෙමු.

එහෙත් සිදු කිරීමට තව බොහෝ වැඩ කටයුතු ඇත. පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඔස්සේ ජාතිය ගොඩනැගීම, සංහිඳියාව සහ ජාතික සමගිය ඇති කිරීම හරහා අත්කර ගත යුතු බොහෝ දේ අපට ඇත. ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ ශ්‍රේෂ්ඨ ජීවිතය පිළිබඳව සිහිපත් කරන විට, එතුමා සියලුම ශ්‍රී ලාංකිකයන්ට උසස් ජීවන තත්ත්වයක් ලබා දීම සඳහාත්, ප්‍රජාවන්ට වඩාත් හොඳින් සැලකීම සහ මානව හිමිකම් නඟා සිටුවීම සඳහාත්, මෙරට දී  එඩිතරව කටයුතු කළාක් මෙන්ම, ගෝලීය මට්ටමෙන් ද  වෙහෙස නොතකා කටයුතු කළ බව අප මතක තබා ගත යුතුය.

වඩාත් යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳව තමන් තුළ පැවති දැඩි විශ්වාසය වෙනුවෙන් ඉමහත් වන්දියක් ගෙවූ කදිර්ගාමර් මහතා, 2005 වර්ෂයේ දී ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරිණි. එතුමාගේ ජීවිතයට, එතුමා ඉටු කළ  සේවයට සහ අපගේ ජාතිය වෙනුවෙන් පුද කළ උත්තරීතර පරිත්‍යාගය වෙනුවෙන් එතුමාට අපගේ ප්‍රණාමය  පුද කිරීමට නම්, එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳව එතුමාගේ දැක්ම යතාර්ථයක් බවට පත් කිරීම සඳහා අප උත්සාහ දැරිය යුතු ය. අපගේ ජාතිකත්වය, වංශය හා ආගම තුළින් උපන් මුරණ්ඩු අහංකාරය පසෙක ලා, එකම ජාතියක් ලෙස අප සැවොම  එක්විය යුතු ය. වාදභේද පසෙක ලා, ‘ශ්‍රී ලාංකික’ ජාතියක් ගොඩනැගීම සඳහා අප රට වෙනුවෙන් අපේ උපරිමය ලබා දීමට වෙහෙස විය යුතු ය.

“නිවසේ දී තැනූ කේක් ගෙඩිය” (‘The cake that was baked at home’) වෙනුවෙන් අප හට පුද කළ හැකි ඉහළම උපහාරය වන්නේ එය යැයි මම විශ්වාස කරමි.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close