ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 2020 ඔක්තෝබර් 01 වැනි දින පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ 4 වැනි ලෝක සමුළුවේ 25 වන සංවත්සරයේ ඉහළ පෙළේ රැස්වීමේ දී පවත්වනු ලබන දේශනය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 2020 ඔක්තෝබර් 01 වැනි දින පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ 4 වැනි ලෝක සමුළුවේ 25 වන සංවත්සරයේ ඉහළ පෙළේ රැස්වීමේ දී පවත්වනු ලබන දේශනය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
2020 ඔක්තෝබර් 01 වැනි දින පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ 4 වැනි ලෝක සමුළුවේ
25 වන සංවත්සරයේ ඉහළ පෙළේ රැස්වීමේ දී පවත්වනු ලබන දේශනය

තේමාව: ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සියලුම කාන්තාවන් හා ගැහැණු ළමයින් සවිබල ගැන්වීම සාක්ෂාත් කර ගැනීම වේගවත් කිරීම

ආරම්භක අදහස් දැක්වීම:

සභාපතිතුමනි,
මහලේකම්තුමනි,
ගරු මැතිතුමෙනි,
සම්භාවනීය නියෝජිතවරුනි,
නෝනාවරුනි මහත්වරුනි,

  • කාන්තාවන් පිළිබඳ 4 වැනි ලෝක සමුළුවේ 25 වැනි සංවත්සරය සැමරීම සඳහා පැවැත්වෙන මෙම ඉහළ පෙළේ රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මට මහත් ගෞරවයකි.
  • නිසැකවම, 1995 දී පැවති කාන්තාවන් පිළිබඳ 4 වැනි ලෝක සමුළුවේ දී සම්මත කරගන්නා ලද බීජිං ප්‍රකාශනය සහ ක්‍රියාකාරී වේදිකාව කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ගෝලීය න්‍යාය පත්‍රයකි. මෙම සවිස්තරාත්මක ප්‍රතිපත්ති ලේඛනය, ගෝලීය වශයෙන් කාන්තාවන්ගේ වැඩිදියුණුව හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් හා ප්‍රබෝධයක් ලබා දෙන පදනමක් ලෙස මීට වසර 25 කට පෙර දී මෙන්ම අදටත් අදාළ ලෙස පවතී.
  • ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ගෝලීය ප්‍රජාව විසින් වැදගත් පියවර රැසක් ගෙන ඇති බව පිළිගන්නා අතරම, කාන්තාවන්ගේ සමාජ-ආර්ථික හා දේශපාලනික සංවර්ධනයට බාධා පමුණුවන අභියෝග සහ බාධක ද අඛණ්ඩව පවතින බව අපි පිළිගනිමු.
  • සෞඛ්‍යයේ සිට ආර්ථිකය දක්වා සෑම ක්ෂේත්‍රයකම කොවිඩ්-19 හි ඍණාත්මක බලපෑම් ලොව පුරා කාන්තාවන් හා ගැහැණු ළමයින් කෙරෙහි බලපා තිබේ. එබැවින්, මෙම වසංගත තත්ත්වයෙන් ප්‍රකෘතිමත් වීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයන් මධ්‍යයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් ඉදිරියෙන් සිටීම අත්‍යවශ්‍ය වේ.

සභාපතිතුමනි,

  • ඓතිහාසික වශයෙන්, රටේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා කාන්තාවන් විසින් ලබා දෙන ලද අගනා දායකත්වය පිළිබඳව දැනුවත්ව සිටිමින්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ කැපවීම සහ දේශපාලනික කැමැත්ත ශ්‍රී ලංකාව විසින් ප්‍රදර්ශනය කර තිබේ.
  • අපගේ ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලංකාවේ කාන්තාවන්, සාක්ෂරතා අනුපාත, සමාජයට අන්තර්ගත වීම සහ ආයු අපේක්ෂාව වැනි සමාජ සංවර්ධන දර්ශක සාක්ෂාත් කරගෙන සිටින අතර, ඒවා සංවර්ධිත රටවලට සමාන මට්ටමක පවතින බව සඳහන් කිරීම ඉතා දිරිගන්වන සුළුය.
  • සෑම ක්ෂේත්‍රයක දීම වැදගත් කාර්යභාරයක් ඉටු කරන මගේ රටේ කාන්තාවන්ගේ ජයග්‍රහණ පිළිගැනීමට ලැබීම පිළිබඳව මම ආඩම්බර වෙමි. 1931 දී ශ්‍රී ලාංකික කාන්තාවන්ට ඡන්ද අයිතිය (සර්වජන ඡන්ද බලය) ලබා දෙන ලදී. ශ්‍රී ලංකාව 1960 දී ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බිහි කළාය. පාර්ලිමේන්තු  සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරියන්, අමාත්‍යාංශ ලේකම්වරියන්, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සහ අධිකරණය යන අංශවල ශ්‍රී ලාංකික කාන්තාවන් දිගින් දිගටම රටේ ඉහළ තනතුරු ගණනාවක් දරා තිබේ. කාන්තාවන් රටේ වැඩ කරන ජනගහනයෙන් අඩක් නියෝජනය කරන අතර, ඔවුන් උසස් අධ්‍යාපනයේ දීද දස්කම් දක්වයි. ජාතික ආර්ථිකය සඳහා ඔවුන්ගේ දායකත්වය ඉතා වැදගත් වේ. කාන්තාවන් ශ්‍රම බලකායෙන් 34.5% ක් නියෝජනය කරන අතර, විදේශීය ශ්‍රම බලකායෙන් 39% ක් කාන්තාවන්ගෙන් සමන්විත වේ.

සභාපතිතුමනි,

  • ශ්‍රී ලංකාවේ ජනතාව විසින් අතිමහත් ජනවරමක් ලබා දී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජය තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සඳහා ඇපකැපවී සිටින අතර, ඒ අතර පස්වැනි ඉලක්කය වන්නේ “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සහ සියලුම කාන්තාවන් හා ගැහැණු ළමයින් සවිබල ගැන්වීමයි”.
  • අපගේ රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව (“රට හදන සෞභාග්‍යයේ දැක්ම”) තුළ, ‘ඵලදායී පුරවැසියෙක්, තෘප්තිමත් පවුලක්, විනයගරුක හා සාධාරණ සමාජයක් සහ සමෘද්ධිමත් ජාතියක්’ යන සිව් වැදෑරුම් ප්‍රතිඵලයක් ළඟාකර ගැනීම සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති ක්ෂේත්‍ර 10 ක් හඳුනාගෙන තිබේ. මෙම රාමුව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සමානාත්මතාවය, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය අවම කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇත.
  • ඉහත ප්‍රතිපත්ති රාමුවට අනුකූලව, කාන්තාවන්ට ඔවුන්ගේම තීරණ ගැනීමට හා ඔවුන්ගේ අභිලාෂයන් කරා ළඟා වීම සඳහා නිදහස පවතින සහ ඔවුන් කිසිදු ප්‍රචණ්ඩත්වයකට හෝ වෙනස් කොට සැලකීමකට යටත් නොවන වාතාවරණයක් තුළ, අපේ සමාජයේ අභිවෘද්ධිය සඳහා සමාන මට්ටමේ ක්‍රියාකාරිකයෙකු ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ දායකත්වය ලබාදීම ස්ථිර කිරීම පිණිස රජය විසින් පහසුකම් සපයනු ඇත.
  • මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාව මෙම රැස්වීමේ තේමාවට එනම්, “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සහ සියලු කාන්තාවන් හා ගැහැණු ළමයින් සවිබල ගැන්වීම වේගවත් කිරීම” සඳහා පූර්ණ සහය දක්වයි.
  • අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සහ සියලු කාන්තාවන් හා ගැහැණු ළමයින් සවිබල ගැන්වීම සඳහා වූ සිය ඇප කැපවීම යළි තහවුරු කරයි.
  • මේ වසරේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කාන්තා දින තේමාව වන “ඇය දිරිමත් - රට සවිමත්” යන පාඨය උපුටා දක්වමින් අවසන් කිරීමට මම කැමැත්තෙමි.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close