තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ගෝලීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ චීන සංස්කෘතික රාත්‍රී උත්සවය-2023 අතරතුර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කරයි

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ගෝලීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ චීන සංස්කෘතික රාත්‍රී උත්සවය-2023 අතරතුර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කරයි

8 වැනි වරට පැවති ගෝලීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ චීන සංස්කෘතික රාත්‍රිය- 2023 නමැති වැඩසටහනේ සභාපතිත්වය තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමාට හිමි විය. මෙම විචිත්‍රවත් උත්සවය Lookwe ආයතනය විසින් 2023 මාර්තු 30 වැනි දින චයිනා වර්ල්ඩ් හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාවේ දී සංවිධානය කර තිබිණි.

මෙම උත්සවයට සහභාගි වූ පිරිස ඇමතූ ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ආර්ථිකය ලොවට විවෘත කිරීමෙන් පසුව දැවැන්ත ආර්ථික ප්‍රගතියක් ලබා ගත් චීනය වෙත සිය ප්‍රශංසාව පළ කළේ ය.  එක්සත් ජාතීන්ගේ 1 වැනි තිරසාර සංවර්ධන ඉලක්කයට අනුකූලව නිරපේක්ෂ දරිද්‍රතාවය සාර්ථකව තුරන් කිරීම හරහා චීනය මානව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ ජයග්‍රහණයක් ලබා ඇති බව සඳහන් කළේ ය. “දිළිඳුබව, කුසගින්න සහ විහිනතාවයෙන් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීම” සියලුම රටවල අපේක්ෂාව වන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. "අපගේ දරුවන් සහ ඔවුන්ගේ දරුවන්" ප්‍රමුඛතාවක් ලෙස සලකමින්, දේශගුණික විපර්යාස හා සබැඳි තර්ජනවලට මුහුණ දීමේ අවශ්‍යතාව පිළිබඳව ද එතුමා මෙහිදී අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව වර්තමානය වන විට ස්ථාවර සහ ආරක්ෂිත තත්ත්වයක පවතින බවත් සංචාරකයින් සඳහා විවෘතව පවතින බවත් ආචාර්ය කොහොන මැතිතුමා පැවසී ය. ගණන් කළ නොහැකි ප්‍රමාණයේ ලෝක පූජිත ආකර්ෂණීය ස්ථාන සහ විශේෂයෙන්ම සිනාමුසු මුහුණින් යුතුව ආගන්තුක සත්කාර පිරිනමන මිනිසුන් සිටින ශ්‍රී ලංකාව "නැරඹිය යුතුම" ගමනාන්තයක් ලෙස හඳුනාගෙන ඇත. සහස්‍ර ගණනාවක් මුළුල්ලේ මෙරටට පැමිණි  චීන ජාතික භික්ෂූන් වහන්සේලා සහ වෙළඳුන් ආකර්ෂණය කරගැනීමට සමත් වූ බෞද්ධාගමික පූජනීය ස්ථාන පිළිබඳව ද එතුමා මෙහිදී අවධාරණය කළේ ය.  විදේශ රටවල් තුළ ව්‍යාප්ත වීම කිරීම කෙරෙහි චීන ආයෝජකයින් සිය අවධානය යොමු කර ඇති බැවින්,   ආර්ථික වශයෙන් දියුණු කලාපයක් මධ්‍යයේ පිහිටි ප්‍රියජනක අක්වෙරළ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සලකන ලෙස ආචාර්ය කොහොන මැතිතුමා චීන ජාතික ආයෝජකයින්ට ඇරයුම් කළේ ය.

බීජිං හි රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රභූන් 600 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම සංස්කෘතික රාත්‍රියට සමගාමීව, චීන සන්නාම ජාත්‍යන්තරකරණය සහ චීනයේ තීරය සහ මාර්ගය වැඩපිළිවෙල ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ද පැවැත්විණි. ශ්‍රී ලාංකික ව්‍යාපාර/ නිෂ්පාදන, ශ්‍රී ලංකාවේ දිළිඳු ප්‍රජාව නඟා සිටුවීම සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් සපයන සහ ප්‍රතිලාභවලින් සමන්විත චීන වෙළඳපොළ වෙත පුළුල් ලෙස ප්‍රවේශ වීමේ අවශ්‍යතාවෙන් පසුවන බවද ආචාර්ය කොහොන මැතිතුමා මෙම සාකච්ඡාව අතරතුර අවධාරණය කළේය.

ශ්‍රී ලාංකික උඩරට නර්තනාංග ඉදිරිපත් කළ නර්තන ශිල්පීන් දෙදෙනෙකු විසින් මෙම උත්සවයට සහභාගි වූ පිරිසට   විනෝදාස්වාදය සපයන ලදී. තවද, පුළුල් ඩිජිටල් තිරයක් ආධාරයෙන්  ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන පිළිබඳ වීඩියෝවක් ද මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2023 අප්‍රේල් 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close