ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා "Discover the Tropical Island Paradise of Sri Lanka" නමින් පවත්වන ලද වැඩසටහන

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා “Discover the Tropical Island Paradise of Sri Lanka” නමින් පවත්වන ලද වැඩසටහන

උතුරු අර්ධගෝලයේ ශීත ඍතු සමය තුළ එක්සත් ජනපද ජාතිකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්,එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජාත්‍යන්තර ඩී.සී. සමාජය සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 30 වැනි දින වොෂින්ටන් ඩී. සී. හි පිහිටි සිය තානාපති කාර්යාල පරිශ්‍රයේදීවිචිත්‍රවත් සන්ධ්‍යා වැඩසටහනක් පැවැත්වී ය.

එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළුව ජාත්‍යන්තර ඩී. සී. සමාජයේ සාමාජිකයන් 80 දෙනෙකුට අධික අමුත්තන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

රැස්ව සිටි පිරිස ඇමතූ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, ලොව හොඳම වෙරළ තීරයන්, පුරාණ නටබුන් සහ වසර 2500 ක් ඉපැරණි බෞද්ධ සංස්කෘතික ස්ථාන, ක්‍රීඩා සහ ත්‍රාසජනක ස්ථාන ඇතුළුව සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව පිරිනමන විවිධ සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳව අවධානය යොමු කළ අතර, ශ්‍රී ලංකාවට පැමිණ මෙම සුන්දරත්වය ගවේෂණය කරන ලෙසද පැමිණ සිටි අමුත්තන්ට ඇරයුම් කළේ ය.

මෙහිදී සිය අදහස් පළ කළ  ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකා එක්සත් ජනපද තානාපති ටෙරෙසිටා ෂැෆර් මැතිනිය, ශ්‍රී ලංකාව තුළ සංචාරක ව්‍යාපාරයට අදාළව හඳුනාගත හැකි සුවිශේෂී අංග පිළිබඳව සහභාගී වූවන්  දැනුම්වත් කළ අතර, එතුමිය මෙරටදී ලද අත්දැකීම් සිහිපත් කොට,මෙරට ධනාත්මක සමාජ-සංස්කෘතික ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසා කළාය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමේ අරමුණින් සුන්දර වෙරළ තීර සහ හරිත කඳුකර භූ දර්ශන ඇතුළුව සංචාරක ව්‍යාපාරයට අදාළව විශේෂයෙන් තෝරාගත් වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කළ තානාපති කාර්යාලය,  ත්‍රාසජනක සංචාරක ව්‍යාපාරය, සුවතාව සහ වන ජීවීන් ආදී අංශ ඔස්සේ පුළුල් පරාසයකට විහිද යන සංචාරක ආකර්ෂණ ස්ථාන ප්‍රවර්ධනය කළේ ය.

‘අසංග ඩොමස්ක්’ සහ ‘සෙරන්ඩිබ්’ නර්තන කණ්ඩායමේ සිසු සිසුවියන්ගේ දක්ෂතා ඇතුළත් සංස්කෘතික ප්‍රසංගයක් ද මෙහිදී පැවැත්විණි. මෙම සිසුහු ශ්‍රී ලංකාවේ හරවත් සාම්ප්‍රදායික සහ ජන නර්තන උරුමය නිරූපණය කරන විවිධ ආකාරයේ නර්තන ඉදිරිපත් කළහ.ශ්‍රී ලංකාවේ සංගීතය මුසු වූ "සිලෝන් බෙර" වාදන කණ්ඩායමේ දක්ෂතා රැස්ව සිටි පිරිස කුල්මත් කිරීමට සමත් විය.රටේ උතුරු ප්‍රදේශයේ සංස්කෘතිය විදහා දැක්වෙන භරතනාට්‍ය නර්තනයක්, නෙත්මි වීරසිංහ විසින් ඉදිරිපත් කරන ලද අතර, එය මෙරට බහු සංස්කෘතික විවිධත්වය විදහා දැක්වීය.ශ්‍රී ලංකාවේ සමකාලීන සංගීතය නිරූපණය වන සිංහල ගීත සජීවීව ගායනා කිරීම තුළින් වැඩසටහන පුරාවට අමුත්තන්ට රසවින්ඳනයක් ලබා දීමට හැකි විය.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සූපවේදියෙකු ලංකා කුළු බඩු යොදා රස ගන්වන ලද ශ්‍රී ලාංකික ආහාර වේලක් රස විඳීමට ද සහභාගිවන්නන්ට හැකි විය. පැමිණ සිටි පිරිස,  නැවුම්ව පිසින ලද  ආප්ප, කොත්තු රොටි සහ වෙනත් විශේෂ ආහාර සපයන සජීවී අවන්හල් කෙරෙහි විශාල උනන්දුවක් දැක්වූ හ. පිරිසිදු ලංකා කළු තේ වලට අමතරව රස කළ උණුසුම් තේ ද, මෙහි ඉදි කොට තිබූ තේ අවන්හල ඔස්සේ පිරිනමන ලදී.

නිව්යෝර්ක් හි GSA ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේඅනුග්‍රහය යටතේ දිනුම් ඇදීමේ තරගයක් පවත්වන ලද අතර, එහිදී ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනමන ලදී. මෙහිදී, තීම් රිසෝට්ස් ඇන්ඩ් ස්පාස්, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහ ජෙට්වින්ග් යන හෝටල්,  ශ්‍රී ලංකාවේ පිහිටිකීර්තිමත් හෝටල්වල නවාතැන් ගැනීම සඳහා අමතර හෝටල් පැකේජ මෙම ජයග්‍රාහකයන්ට පිරිනැමූ හ. ඉන් අනතුරුව මෙම වැඩසටහන නිම කෙරිණි.

සිය ස්තුති කතාව ඔස්සේ අදහස් පළ කළ ඩී.සී. ජාත්‍යන්තර සමාජයේ සභාපති සංජය හෙට්ටිහේවා මහතා, තම සංවිධානය සමඟ අත්වැල් බැඳගත් තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පුද කළේය. ජාත්‍යන්තර ඩී. සී. සමාජය කලාව, සංගීතය, නර්තනය සහ රංග කලාව ඇතුළු ජාත්‍යන්තර සංස්කෘතික අත්දැකීම් මෙන්ම,ලොව පුරා ව්‍යාප්තව ඇති සූපශාස්ත්‍ර කලාවේ ප්‍රණීත ආහාර නියැදි පිරික්සීමට ද අවස්ථාව ලබා දෙයි.තවද එය රටවල් 90කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන 47,000කට අධික වෘත්තිකයන්ගේ සාමාජිකත්වය සමඟින් වොෂින්ටන් ඩී.සී. තුළ ප්‍රසංග, සැණකෙළි, උත්සව ආදියඉදිරිපත් කිරීම සඳහා තානාපති කාර්යාල 80කට අධික සංඛ්‍යාවක් සමඟ හවුල් වී කටයුතු කරයි.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2022 ඔක්තෝබර් 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close