රුසියානු තානාපතිවරයා අභිනව විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

රුසියානු තානාපතිවරයා අභිනව විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි මැතිතුමා 2022 ජූලි 28 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, අභිනව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය. සබ්‍රි මැතිතුමාගේ නව පත්වීම පිළිබඳව සුබපැතුම්  පළ කළ තානාපති මැටේරි මැතිතුමා, රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සෙර්ගේ ලැව්රොෆ් මැතිතුමා අභිනව විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත නිකුත් කරන  ලද සුබපැතුම් පණිවිඩයක් භාර දුන්නේ ය.

සිය අදහස් පළ කළ රුසියානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සම්ප්‍රදායික වශයෙන් පවත්නා ශක්තිමත් හවුල්කාරිත්වය  හා සබැඳි වැදගත් කරුණු පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා දැනුම්වත් කළේ ය. ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංසදවලදී රුසියාව ශ්‍රී ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ගැඹුරු කෘතඥතාව පළ කළේ ය. ව්‍යාපාරික සබඳතා, සංචාරක ව්‍යාපාරය සහ සම්බන්ධතාව වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතරතුර, සහයෝගීතාව තවදුරටත් තහවුරු කරගැනීම කෙරෙහි පවත්නා විශ්වාසය ද එතුමා මෙහිදී පළ කළේ ය.

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ  දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම හමුවට  සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 31 වැනි දින

Please follow and like us:

Close