එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවති ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවති ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම

අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 පෙබරවාරි මස 04 වැනි දින අබුඩාබි හි චාන්සරි පරිශ්‍රයේදී නිල උත්සවයක් පවත්වමින් ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සනිටුහන් කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය සහ එරට වෙසෙන ‍විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සීමිත සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.

සාම්ප්‍රදායික මඟුල්බෙර වාදනය මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා විසින් ජාතික ධජය ඔසවනු ලැබීමෙන් උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව ජාතික ගීය ගායනා කරනු ලැබිණි.

මාතෘභූමියේ නිදහස, ඒකීයභාවය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව අත් කර ගැනීම උදෙසා සිය දහඩිය, ලේ, ජීවිතය කැප කළ ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ අරගල හා පරිත්‍යාගයන් සිහිපත් කරමින් ඔවුන්ට උපහාර දැක්වීම සඳහා සහභාගි වූවන් විසින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීය.

සාම්ප්‍රදායික සංස්කෘතික චාරිත්‍ර අනුගමනය කරමින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගමික පූජකවරුන් විසින් අතථ්‍ය අයුරින් ආගමික වතාවත් පවත්වා මාතෘභූමියට, එහි නායකයින්ට සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආශිර්වාද කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමා විසින් පිරිනමන ලද නිදහස් දින පණිවුඩ දූත කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රකාශ කරනු ලැබීය.

කෙටි අදහස් දැක්වීමක් සිදු කරමින් උත්සවයට සහභාගී වූවන් පිළිගත් තානාපති මල්රාජ් ද සිල්වා මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ දියත් කෙරෙන ජාතිය ගොඩනැංවීමේ ව්‍යාපාරය හමුවේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුකම, ස්ථීරසාරභාවය සහ කැපවීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද, කොවිඩ්-19 හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති රටේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සියලුම විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් තානාපතිවරයා ඉල්ලා සිටියේය. 300,000 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් සඳහා ආරක්ෂිත දෙවන නිවහනක් වීම සම්බන්ධයෙන් එතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයින්, නිලධාරීන් සහ ජනතාව වෙත විශේෂ ස්තූතියක් පුද කළේය.

අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන වෛද්‍ය අරුණ රබෙල් මහතා සිය දේශනයේදී කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රවණතා, පූර්ණ එන්නත්කරණයේ වැදගත්කම මෙන්ම අනෙකුත් වෛරසවලින් තමා විසින්ම ආරක්ෂා විය හැකි ඇතැම් පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳ අදහස් හුවමාරු කර ගත්තේය.

මෙම අවස්ථාවේ දී ස්තුති කතාව ඉදිරිපත් කරමින් තානාපති කාර්යාලයේ උපදේශිකා මේධාවි පීරිස් මහත්මිය මාතෘභූමියට මෙන්ම ශ්‍රී ලාංකීය ජාතික විරුවන්ට උපහාර දැක්වීම සඳහා භෞතිකව මෙන්ම මාර්ගගත අයුරින් තානාපති කාර්යාලය සමඟ එක්වීම පිළිබඳව සහභාගි වූ සියලු දෙනා වෙත සිය ස්තූතිය පුද කළාය.

පැමිණ සිටි පිරිස විසින් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ආහාරපාන භුක්ති විඳීමෙන් අනතුරුව උත්සවය අවසන් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අබුඩාබි

2022 පෙබරවාරි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close