සිංගප්පූරුවේ පැවති නිදහස් දින සැමරුම 

සිංගප්පූරුවේ පැවති නිදහස් දින සැමරුම 

ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී සරල උත්සවයක් ලෙස පවත්වන ලදී. මෙම අවස්ථාවේදී අදහස් පළ කළ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෂිකලා ප්‍රේමවර්ධන මැතිනිය, වසංගතය හේතුවෙන් පනවා ඇති සීමා ලිහිල් කළහොත්, ලබන වසරේ දී පැවැත්වීමට නියමිත නිදහස් දින උත්සවයට ප්‍රජාව නියෝජනය කරන සාමාජිකයින්ට ද ඒ සඳහා සහභාගී විය හැකි බවට විශ්වාසය පළ කළා ය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහය වීම සඳහා වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ රැකියා අවස්ථා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස එතුමිය සිය කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියා ය. සිංගප්පූරු බලධාරීන්ගේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහය ඇතිව, සිංගප්පූරු වෙළෙඳපොළට නව ශ්‍රී ලාංකික නිෂ්පාදන යොමු කිරීම සාක්ෂාත් කරගැනීමට මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට හැකි වූ බව සඳහන් කළ මහ කොමසාරිස්වරිය, 2021 වසරේ දී හිමිකර ගත් ජයග්‍රහණ පිළිබඳව අවධාරණය කළා ය. සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සංචාරය කිරීමේ දී නිරෝධායනයට යොමු වීමෙන් තොරව ගමන් කිරීම සඳහා අවස්ථාව සලසන ‘එන්නත් කළ සංචාරක මංතීරුව’ (VTL) ආරම්භ කිරීම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව සිංගප්පූරුවේ ප්‍රවාහන හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් වෙත මහ කොමසාරිස්වරිය සිය ස්තුතිය පුද කළා ය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ සිංගප්පූරු ගුවන් සේවය සතියක් තුළ ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කරන බැවින් සහ VTL පහසුකම ක්‍රියාත්මක කරන බැවින්, ව්‍යාපාර කටයුතු මෙන්ම විනෝදාස්වාදය සඳහා සිදු කෙරෙන ගුවන් ගමන් ඉහළ නැංවිය හැකි බවද එතුමිය සඳහන් කළා ය.

එදිනම, මහ කොමසාරිස් කාර්යාලය විසින් අතථ්‍ය අයුරින් නිදහස් දින උත්සවයක්  පවත්වන ලදී. සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ පරිසර හා තිරසර අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ඩෙස්මන්ඩ් ටෑන් මැතිතුමා ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවත්නා සබඳතාව ශක්තිමත් සංස්කෘතික හා ඓතිහාසික පදනමක් මත ගොඩනැගී ඇති බවත්, එය දෙරටම ඉන්දියන් සාගරය සහ ආසියානු පැසිෆික් කලාපය අතර පිහිටි ඉපැරණි සමුද්‍ර වෙළෙඳ මාර්ගයේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ අවධිය දක්වා දිවයන බවත් අමාත්‍යවරයා සිය පණිවුඩය මගින් සඳහන් කළේ ය. වසංගතය හේතුවෙන් උද්ගත වූ බාධා මධ්‍යයේ වුවද, දෙරට අතර පවත්නා වෙළඳ සබඳතා තවදුරටත් ගැඹුරු වී විකාශනය වී ඇති බවද එතුමා පැවසීය. එක්ව කටයුතු කිරීම තුළින් ජාත්‍යන්තර වෙළඳාම තුළ පවත්නා  අභියෝගවලට මුහුණ දීමටත්, නව හවුල් ව්‍යාපාර සහ ඊ-වාණිජ්‍ය වෙළඳ ප්‍රවාහයන් සමඟ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙරටට හැකි වී ඇති බවත් මෙහිදී අදහස් දැක්වූ ඩෙස්මන්ඩ් ටෑන් මැතිතුමා සඳහන් කළේ ය.

ජනප්‍රිය කලාකරුවකු වන නදීක ගුරුගේ මහතා මෙම උත්සවය වෙුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද සංගීතමය ඉදිරිපත් කිරීමක් ඇතුළු සංස්කෘතික අංග කිහිපයක් මෙම උත්සවයට ඇතුළත් විය. ඔහුගේ සංගීත නිර්මාණය තුළ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ජන සංගීත කලාවේ අංග කිහිපයක් ඇතුළත් කොට තිබූ අතර, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පෙදෙස්වල සුන්දරත්වය නිරූපණය කෙරෙන වීඩියෝ පට පසුබිමෙන් ප්‍රදර්ශනය කෙරිණි. ශ්‍රී ලාංකික නර්තන කලාවේ අංග මුසු කොට නිර්මාණය කරන ලද නර්තන අංගයක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලදී.

දෙරට අතර පවත්නා සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාව ලබා දෙන දායකත්වයට උපහාර දක්වමින්, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සිංගප්පූරු ජාතිකයකු වන අරවින්ද් කුමාරසාමි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිංගප්පූරුවේ අප්සරා නර්තන ඇකඩමිය ඉදිරිපත් කළ භරත නාට්‍ය අංගයක් ද මෙම අවස්ථාවට ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ පිහිටි භූ දර්ශනවල අන්තර්ගත වර්ණවලින් පන්නරය ලැබූ ශ්‍රී ලංකාවේ උපන් ළමා චිත්‍ර ශිල්පියකු වන එකොළොස් හැවිරිදි ඇලෙක්සැන්ඩර් මාර්ක් ඩි මෙල්ගේ විශේෂ නිර්මාණ සහිත අංගයකින් මෙම උත්සවය අවසන් කෙරිණි. මේ වන විට ඔහු සිංගප්පූරුවේ පදිංචිව සිටියි. ඔහු, සිංගප්පූරුවේ හයිආර්ට් (HiArt) ආයතනයේ සහයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ධජය සිතුවම් කළ අතර, නරඹන්නන්ට සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට නිදහස් දින සුබ පැතුම් පළ කළේ ය. මෙම උත්සවයේ වීඩියෝව මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙන් සහ ෆේස්බුක් පිටුවෙන් ලබා ගත හැකි ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

සිංගප්පූරුව

2022 පෙබරවාරි 15 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close