දෝහා හි පැවැත්වෙන ‘කටාර් ආගන්තුක සත්කාර - 2021’ (Hospitality Qatar-2021)  ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාව කැපී පෙනෙන සහභාගීත්වයක් පෙන්නුම් කරයි

දෝහා හි පැවැත්වෙන ‘කටාර් ආගන්තුක සත්කාර – 2021’ (Hospitality Qatar-2021)  ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාව කැපී පෙනෙන සහභාගීත්වයක් පෙන්නුම් කරයි

2021 නොවැම්බර් 08-11 දිනවල දෝහා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති කටාර් ආගන්තුක සත්කාර - 2021 ප්‍රදර්ශනයේ "ගමනාන්ත ප්‍රදර්ශන කුටිය" තුළ ශ්‍රී ලංකාව කැපී පෙනෙන සහභාගීත්වයක් පෙන්නුම් කළේය. කටාර් හි  ප්‍රමුඛතම ජාත්‍යන්තර ආගන්තුක සත්කාරක සහ හෝටල්/අවන්හල්/ආහාරපාන සැපයුම් (HORECA) ප්‍රදර්ශනය වන්නේ කටාර් ආගන්තුක සත්කාර ප්‍රදර්ශනයයි.

කටාර් ගුවන් සේවය විසින් අනුග්‍රහය දක්වන ලද “ගමනාන්ත ප්‍රදර්ශන කුටිය” ප්‍රථම වරට 2019 වර්ෂයේ දී ආරම්භ වූ අතර එමගින් මෙම ප්‍රදර්ශනයට සහභාගී වන රටවල් ජාත්‍යන්තර සංචාරක ප්‍රවර්ධන මණ්ඩල සහ සංචාරක ආයතනවලට තම සංචාරක ආකර්ෂණ ස්ථාන වැඩසටහන් හඳුන්වා දීමට සහ තම රටවල් කදිම සංචාරක ගමනාන්ත ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා නම් කරන ලද වේදිකාවක් ලෙස සේවය සලසන ලදි.

වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයාගේ නියෝජ්‍ය ලේකම් සුල්තාන් බින් රෂීඩ් අල්-ඛාටර් මහතා, කටාර් සංචාරක ව්‍යාපාරයේ සභාපති සහ කටාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී අක්බාර් අල් බේකර් මහතා සහ අනෙකුත් නිලධාරීන් හමුවේ මෙම උත්සවය නිල වශයෙන් ආරම්භ කළේය.

දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම ප්‍රදර්ශනයට සහභාගී වූයේ දෙවැනි වරට ය. තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාව විචිත්‍රවත් සහ සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් මෙම ප්‍රදර්ශනයට සහභාගී විය. කටාර් ආගන්තුක සත්කාර ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලාංකික හරය, විචිත්‍රත්වය සහ සංස්කෘතිය හුවා දැක්වෙන ශ්‍රී ලාංකික කුටිය විවෘත කළ අවස්ථාවේ දී කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මෆාස් මොහිදීන් මැතිතුමා ඇතුළුව සහභාගී වූ රටවල තානාපතිවරුන් සහ ශ්‍රී ලාංකික ප්‍රජා නායකයන් කිහිප දෙනෙක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වීමේ ප්‍රධාන අරමුණ වූයේ ස්වභාවධර්මයෙන් සහ සාරවත් සංස්කෘතියකින් ආශීර්වාද ලත් ගෝලීය මට්ටමේ නිර්ණායකවලට අනුගත වූ සුවතා නිකේතන, සුඛෝපභෝගී නවාතැන් හා ඓතිහාසික හා නූතන ආශ්චර්යයන් සහිත සුන්දර සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාව වෙත මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ පුද්ගලයන් සහ සංචාරක ක්‍රියාකරුවන් ආකර්ෂණය කර ගැනීම යි.

සංචාරකයන් සහ සංචාරක ක්‍රියාකරුවන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය නැරඹීමට පැමිණ සිටියහ. දෝහා හි පිහිටි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික නර්ථනාංගවලින් මෙම උත්සවය වර්ණවත් කෙරිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

දෝහා

2021 නොවැම්බර් 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close