ලුඕයැංග් නාගරික රජය බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පියොනි මල් උද්‍යානයක් තෑගි කරයි

ලුඕයැංග් නාගරික රජය බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පියොනි මල් උද්‍යානයක් තෑගි කරයි

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා අප්‍රේල් මස පැවති පියොනි මල් සැණකෙළිය අතරතුර දී ලුඕයැංග් හි සිදු කළ සංචාරයෙන් අනතුරුව, ලුඕයැංග් නාගරික මහජන රජයේ විදේශ කටයුතු කාර්යාලය බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පියොනි මල් උද්‍යානයක් තෑගි කළේ ය.

හොඳින් වැඩුණු පියොනි මල් සහිත ට්‍රක් රියක් කැටුව පැමිණි ලුඕයැංග් හි විදේශ කටයුතු කාර්යාලයේ නියෝජිතයන් ඇතුළු කණ්ඩායමක්, තානාපති කාර්යාලයේ ඇති ඉඩකඩ සහිත උද්‍යානය තුළ එම පියොනි මල් සිටුවීමට සහය ලබා දුන්හ. මෙම පියොනි ශාක වැවීම සඳහා අවශ්‍ය පස් පවා ගෙන එනු ලැබුවේ ලුඕයැංග් නගරයෙනි. පියොනි යනු චීනයේ වඩාත්ම ජනප්‍රිය මල් විශේෂය යි. පියොනි මල් පිපෙන විට දිස්වන්නේ මනස්කාන්ත වූ සුන්දර දසුනකි.

තානාපති කාර්යාලයේ උද්‍යාන පරිශ්‍රයේ පැවති චාම් උත්සවයක් අතරතුර දී අලුතින් රෝපණය කරන ලද පියොනි මල් උද්‍යානය තානාපතිවරයාට සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට 2021 ඔක්තෝබර් 20 වැනි දින සංකේතාත්මකව භාර දෙන ලදී.

මෙම ත්‍යාගය භාර ගත් ආචාර්ය කොහොන මැතිතුමා, "ලබන වසන්තයේ දී මෙන්ම ඉන් පසුව එළඹෙන වසන්ත සෘතුවලදී ද පියොනි මල් පිපෙන්නාක් සේම, දෙරටේ ජනතාව අතර, විශේෂයෙන්ම ලුඕයැංග් වැසියන් අතර පවත්නා උණුසුම් මිත්‍රත්වය අඛණ්ඩව මල් ඵල දරනු ඇත" යනුවෙන් පැවසී ය.

ඊට ප්‍රතිචාර දැක්වූ ලුඕයැංග් නාගරික මහජන රජයේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් බායි ෂිබින් මහතා, ව්‍යාපාර සහ ආයෝජන කටයුතු සඳහා මනරම් ලුඕයැංග් නගරය සමඟ සම්බන්ධ වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සාදරයෙන් පිළිගන්නා බව පැවසී ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 ඔක්තෝබර් 25 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close