2021 බැංගලෝර් නවෝත්පාදක ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී ශ්‍රී ලංකාව ගෞරවයට පාත්‍ර වේ

2021 බැංගලෝර් නවෝත්පාදක ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී ශ්‍රී ලංකාව ගෞරවයට පාත්‍ර වේ

ජාත්‍යන්තර තලය තුළ ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ඇති අවස්ථා ගවේෂණය කරමින් චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සමඟ එක්ව, 2021 ඔක්තෝබර් 14-17 යන දිනවල බැංගලෝරයේ ජේ.ඩබ්. මැරියට් හෝටලය සහ ඉනොවටිව් මල්ටිප්ලෙක්ස් රඟහල තුළ පැවති 4 වැනි නවෝත්පාදක ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල (IIFF) සඳහා ශ්‍රී ලංකාවේ සිනමා වෘත්තිකයන්ගෙන් සුසැදි නියෝජිත කණ්ඩායමක් ප්‍රථම වතාවට සංවිධානය කළේ ය.

දකුණු ඉන්දියාවේ පැවැත්වෙන විශාලතම සහ අද්විතීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් අතරින් එකක් වන IIFF චිත්‍රපටි උළෙල බැංගලෝරයේ පිහිටි නවෝත්පාදක චිත්‍රපට ඇකඩමිය විසින් වසර ගණනාවක් මුළුල්ලේ සංවිධානය කරනු ලබන අතර, එමඟින් විවිධ රටවල සමනිෂ්පාදන අවස්ථා සඳහා ජාත්‍යන්තර චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් ජාලගත වේදිකාවක් නිර්මාණය කරන අතරතුර සහභාගී වන රටවල චිත්‍රපට කලාව සහ සංස්කෘතීන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කෙරේ.

චිත්‍රපට උළෙලේ 16 වැනි දින පැවති ශ්‍රී ලංකා සැසිය ආරම්භ කළ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය වෙන්කටේෂ්වරන් මැතිතුමා සම්භාවනීය අමුත්තන් සඳහා ප්‍රබෝධයක් ලබා දීමේ අරමුණින්, ඔවුන්ගේ ප්‍රියතම චිත්‍රපට ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගත යුත්තේ ඇයි දැයි අවධාරණය කළේ ය. ඔහුගේ දේශනයෙන්  අනතුරුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ මහතා, ෆ්රේම්ස් ටීවී ඇන්ඩ් ෆිල්ම්ස් (Frames TV & Films) හි චිත්‍රපට අධ්‍යක්ෂ ශ්‍යාමන් ප්‍රේමසුන්දර මහතා, සර්ක්ල් 360 (Circle 360) හි කළමනාකාර අධ්‍යක්ෂ යසස් රත්නායක මහතා, රූගත කිරීම් කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රියංග කුමාරසිරි මහතා, චිත්‍රපට අධ්‍යක්ෂ ඡත්‍ර ඩයස් වීරමන් මහතා ඇතුළු සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස,  ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර චිත්‍රපට රූගත කිරීම පිළිබඳ ඉතිහාසය, දර්ශන පසුතල සඳහා දිවයිනේ ඇති ගමනාන්ත, ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදකයන්ට ලබා දෙන විශිෂ්ට යටිතල පහසුකම් සහ සහන සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.

ජාලකරණ සැසියේ දී නවෝත්පාදක චිත්‍රපට ඇකඩමියේ නිර්මාතෘ සර්වානා ප්‍රසාද් මහතා සහ එහි නිර්මාණ අධ්‍යක්ෂිකා උපාසනා මිත්තාල් මහත්මිය සැසි වාරයට සහභාගී වූ සිනමා හා විනෝදාත්මක කර්මාන්තයේ වෘත්තිකයන්ට ශ්‍රී ලංකා නියෝජිත පිරිස හඳුන්වා දුන් අතර එහිදී ශ්‍රී ලංකාව වෙත තවත් අවස්ථා ආකර්ෂණය කර ගැනීම සඳහා සිත් ඇදගන්නා සුළු වැදගත් සාකච්ඡා පැවැත්විණි. තෙළිඟු සිනමාවේ ප්‍රකට හා කීර්තිමත් චිත්‍රපට නිෂ්පාදකයෙකු වන අල්ලු අරවින්ද් මහතා ශ්‍රී ලංකාවේ සැසිවාරයට ඉතා සුහදශීලී ලෙස සම්බන්ධ වූ අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඔහු වෙත යොමු කළ ආරාධනය අනුව සිය ඉදිරි නිර්මාණ සඳහා ශ්‍රී ලංකාව තුළ ගවේෂණය කිරීමට ඇති කැමැත්ත පිළිබඳව ප්‍රකාශ කළේ ය.

මෙම සිව් දින උළෙල රාජ්‍යතාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තවල වෘත්තිකයන් සහ සහභාගී වූ රටවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති චමත්කාරජනක සමාප්ති උත්සවයකින් අවසන් විය. උත්සවය අතරතුර දී ඡත්‍ර ඩයස් වීරමන් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “ආයු” නමැති නවතම සිංහල චිත්‍රපටය හොඳම ආසියානු චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.

4 වැනි IIFF උළෙල ප්‍රමුඛ පෙළේ සිනමාකරුවන්, ප්‍රසිද්ධ පුද්ගලයන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයන්, චිත්‍රපට සංගම් සහ නන් විධ රටවල් 30ක රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී සහභාගී වූ රටවල ජාත්‍යන්තර චිත්‍රපට 75 ක් භාෂා 45 කින් තිරගත කෙරිණි.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් (වාණිජ) ඩිලංග හෙට්ටිආරච්චි මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සම්බන්ධීකරණය කිරීම සහ ඔවුන් සූදානම් කිරීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2021 ඔක්තෝම්බර් 25

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close