මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස වැඩ භාර ගනී

මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස වැඩ භාර ගනී

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති (නම් කළ) ලෙස මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිණිය, 2021 ඔක්තෝබර් 04 වැනි දින තානාපති කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස වැඩ භාර ගත්තා ය. තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් මහත් හරසරින් පිළිගැනිමෙන් අනතුරුව, නම් කළ තානාපතිනිය ගෞතම බුදුන් වහන්සේට වන්දනා කොට සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වූවාය. රුසියාවේ රුඩ්න් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන පූජ්‍යපාද සූරියවැව ඥානදස්සි ස්වාමීන් වහන්සේ, නව තානාපතිනිය තම ධුරයේ වැඩ භාර ගන්නා අවස්ථාවේදී සෙත් පිරිත් සජ්ඣායනය කොට ආසිරි පැතූහ.

තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ මහාචාර්ය ලියනගේ මැතිණිය, ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති රාමුව තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කොට ඇති දැක්ම සාක්ෂාත් කර ගැනීමට එකම කණ්ඩායමක් ලෙස කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම සහ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මිත්‍ර සබඳතා තවදුරටත් ඉහළ තලයකට ගෙන යාම පිළිබඳව අවධාරණය කළාය.

2021 ඔක්තෝබර් 05 වැනි දින රුසියානු සමූහාණ්ඩුවේ රාජ්‍ය සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඊගෝර් බොග්ඩෂෙව් මහතා හමුවූ නම් කළ තානාපතිනිය, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ලද පත්වීම නිල වශයෙන් දන්වමින් සිය අක්තපත්‍රයේ විවෘත පිටපත් පිළිගැන්වූවාය. ඉන් අනතුරුව පැවති සංවාදයේදී, තානාපති ලියනගේ මැතිණිය ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා ගැන සඳහන් කළ අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන සෑම අංශයක් තුළම දෙරට අතර බහුවිධ සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා වන සැලසුම් ඉදිරිපත් කළාය. ඊට ප්‍රතිචාර දැක්වූ අධ්‍යක්ෂ බොග්ඩෂෙව් මහතා, ලියනගේ මැතිනියගේ රුසියාවේ ධූර කාලය සාර්ථක වන්නට සුබ පැතූ අතර, ඇයගේ රාජකාරි ඉටු කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික විය.

පළපුරුදු විද්වතෙකු වන තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිනිය, රුසියාව බලා පිටත්ව යාමට පෙර ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙසද කටයුතු කළාය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 ඔක්තෝබර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close