බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ආසිර්වාදම් මැතිනිය යුරෝපා සංගමයේ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) මහ ලේකම්වරයා හමුවෙයි

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ආසිර්වාදම් මැතිනිය යුරෝපා සංගමයේ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) මහ ලේකම්වරයා හමුවෙයි

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති සහ යුරෝපා සංගම් දූත මණ්ඩල ප්‍රධානී ග්‍රේස් ආසිර්වාදම් මැතිනිය, 2021 ඔක්තෝබර් 04 වැනි දින බ්‍රසල්ස් හි යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS)  මහ ලේකම් ස්ටෙෆානෝ සැනීනෝ මහතා හමු වූවා ය.

ද්විපාර්ශ්වික සබඳතාවල තත්ත්වය මෙන්ම කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ ක්‍රියාවලිය, ජීඑස්පී+ (GSP Plus) යෝජනා ක්‍රමය යටතේ වෙළඳාම, වෙළෙඳාම සඳහා පහසුකම් සැපයීම, ආයෝජනය, සංවර්ධන ආධාර යනාදිය ඇතුළත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අඛණ්ඩව සිදු කෙරෙන ඵලදායී නිරතවීම් පිළිබඳව තානාපති ආසිර්වාදම් මැතිනිය මහලේකම්වරයාට පැහැදිලි කළා ය.

හවුල්කාරිත්ව සහයෝගිතා ගිවිසුම් රාමුව යටතේ ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වසර ගණනාවක සිට සහයෝගිතාවයේ බොහෝ අංශවල මුල් බැසගෙන ඇති බව සඳහන් කළ මහ ලේකම් සැනීනෝ මහතා, මෙම සබඳතා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා අඛණ්ඩව වර්ධනය කෙරෙනු ඇති බවට විශ්වාසය පළ කළේ ය. ජීඑස්පී+ අධීක්ෂණ නියෝජිත පිරිස විසින් පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාව සමඟ පවත්වන ලද ඵලදායී මැදිහත් වීම සහ පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ පස්වැනි හමුව 2021 සැප්තැම්බර් 29 වැනි දින සාර්ථකව පැවැත්වීම ඇගයූ මහ ලේකම් සැනීනෝ මහතා, අපේක්‍ෂිත ප්‍රතිඵල කාලෝචිත ලෙස සාක්ෂාත් කර ගන්නා තෙක් හඳුනාගත් අංශවල  ප්‍රගතිය අඛණ්ඩව සිදු ‍වනු ඇතැයි යුරෝපා සංගමය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය.

කොවිඩ්-19 ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දක්වන බව මහලේකම්වරයා තවදුරටත් කියා සිටියේ ය. තවද, ද්විපාර්ශ්වික සහයෝගිතාවයට අමතරව ආසියාවේ ක්‍රියාත්මක වන යුරෝපා සංගම් හා ආසියා සම්බන්ධීකරණ උපායමාර්ගය සහ යුරෝපා සංගම් හා ඉන්දු-ශාන්තිකර උපායමාර්ගය වැනි යුරෝපා සංගම් වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධ කර ගැනීමට උනන්දු වන බව ද මහ ලේකම්වරයා පැවසී ය.

මෙම සංවාදය ඉතා සුහදශීලී වාතාවරණයක පැවැත්විණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2021 ඔක්තෝබර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close